728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 20 May 2014

අප ගේ ජනශ‍්‍රැතිය..... වසා ගෙන දෙතන අතකින් කිම ද නගෝ

කිසිම පුද්ගලයෙක් තම සමාජය දෙස පියවි ඇසින් නො බල යි. ඔහු දකින සියලු දේ ඒ සමාජයේ සිරිත් විරිත්, මානව සම්බන්ධතා මෙන් ම චින්තන ධාරාව විසින් සංස්කරණය කරන ලද ඒවා වේ.

මේ ජීවිත දර්ශනය පිළිබඳ ඔහු කරන ගවේෂණයන්හි දී වුව ද මේ රාමුවෙන් බැහැර ව ඔහුට කි‍්‍රයා කළ හැකි නො වේ. සත්‍ය හෝ අසත්‍ය හෝ පිළිබඳ ඔහු දරන මති මතාන්තර පවා නිගමනය කරනු ලබන්නේ මේ පාරම්පරික චාරිත‍්‍ර විධි සම්ප‍්‍රදාය මඟිනි” යනුවෙන් රූත් බෙනඩික්ට් නම් මානව විද්‍යාඥවරිය පෙන්වා දී තිබේ.

ජනශ‍්‍රැතීන් උපත ලබා වර්ධනය වනුයේ දිගු ඉතිහාසයක් සහිත මානව සමාජවල ය. ඒවා උපත ලැබූ ස්ථානයක්, බිහි කළ පුද්ගලයකු හෝ කාලයක් හඳුනා ගත හැකි නො වේ. එහෙත් ජනශ‍්‍රැතීන් බිහි වී ක‍්‍රමයෙන් වර්ධනය වන්නේ් ඒ ඒ ජනසමාජවල භූගෝලීය, පාරිසරික හා අධ්‍යාත්මික පසු තලයන් ඔස්සේ ලබන අත්දැකීම් පසුබිම් කර ගනිමිනි.
ඒවා ඔහු ගේ චින්තනය සකස් කරවයි. මේ නිසා ජනශ‍්‍රැතීන් මිනිසා ගේ මනෝවිද්‍යාත්මක හැඟීම් ප‍්‍රකට කරන බව පැහැදිලි ය. ඇලෙක්සැන්ඩර් ක්‍රෙප් සිය The Science of Folklore නම් කෘතියෙන් පෙන්වා දී තිබෙන්නේ, ජනශ‍්‍රැතීන් මානවයා ගේ අතීතය පිළිබඳ නිරවද්‍ය තොරතුරු හුවා දක්වන බව යි.
ඔහු ගේ පාරම්පරික ඥානය ඒ ජනශ‍්‍රැතීන් හි අන්තර්ගත ව පවතී. ඒ ජනසමාජ විසංධානය නො වී පවතින්නේත්, ඒවායේ ක‍්‍රමික දියුණුවක් ඇති වනුයේත් එකී පාරම්පරික ඥානය හේතු කොට ගෙන ය. බොහෝ ජනසමාජවල වාර්තා නොකරන ලද සම්ප‍්‍රදායයන්, ඒ ජනශ‍්‍රැතීන්හි ප‍්‍රධාන ලක්ෂණයක් බවට පත්වී තිබෙන්නේ එබැවිනි.
ජනශ‍්‍රැතිය පිළිබඳ මේ කරුණු හඳුනා ගැනීම සඳහා සාර්ක් කලාපීය රටවල් ඉතා හොඳ උදාහරණවේ. සාර්ක් කලාපයේ සියලු ම රටවල් අඩු වැඩි වශයෙන් දිගු ඉතිහාසයක් සහිත රටවල් වේ. මේ සියලු රටවල් අප‍්‍රමාණ වූ ජනශ‍්‍රැති සම්භාරයකින් පෝෂිත ය. මේ රටවල ජනතාව ගේ පාරම්පරික ඥානයෙහි ආරක්ෂා වී ඇති ප‍්‍රධාන අංග තුනක් විද්වතුන් විසින් පෙන්වා දී තිබේ. එනම්,
1. ශ‍්‍රැති වහර (පුරාණොක්ති, ආඛ්‍යාන, ජනකතා, කවි කතා, ජනකවි, ප‍්‍රස්තා පිරුළු, තේරවිලි ආදිය)
2. ජන ඇදහිලි සහ විශ්වාසවලට ඇතුළත් ශාන්තිකර්ම, අභිචාර විධි, සිරිත් විරිත්, පූජෝත්සව, ජන නාටක ආදිය.
3. විවිධ සංස්කෘතික උපාංග (ශ‍්‍රැති වහරට අයත් නොවන කලා ශිල්ප, ඇඳුම් විලාසිතා, කෑම බීම, ගෘහ නිර්මාණ ශිල්පය ආදිය)
සොකරි ජන නාටකයේ
ගුරුහාමි, පරයා සහ බෙරකරු
මේ ප‍්‍රධාන අංගත‍්‍රයට ඇතුළත් ව, ජනශ‍්‍රැතිය ඔස්සේ පරපුරකින් පරපුරකට උරුම කරදෙන මේ පාරම්පරික ඥානය ජන සමාජවලට අවශ්‍ය වනුයේ කවර අවශ්‍යතාවක් නිසා ද? එය ප‍්‍රධාන කොටස් දෙකක් ඔස්සේ හඳුනා ගත හැකි ය.
1. සමාජානුයෝජනය
2. සමාජ අභිවෘද්ධිය
කවර සමාජයකට හෝ අලුතින් එකතු වන සාමාජිකයන් ඒ සමාජයට අනුගත වන පුද්ගලයන් බවට පත් කැරෙන්නේ සමාජානුයෝජනය මඟිනි. ඊ. මෙරිල් ෆ‍්‍රැන්සිස් විසින් සමාජානුයෝජන කි‍්‍රයාවලියෙහි විද්‍යමාන මූලික නීති හතරක් පෙන්වා දී තිබේ. එනම්,
1. පුද්ගලයා ජන සමූහයේ මූලික නීති ඉගෙනීම
2. සමාජ සමූහයේ පිළිගත් සම්මතයන්ට හැමවිටක දී ම අනුගත වීම
3. තමා අයත් සංස්කෘතියට අත්‍යවශ්‍ය වූ ශිල්පීය ක‍්‍රම පිළිබඳ ඉගෙනීම
4. පුද්ගලයා තමාට හිමි කාර්යය කොටස නිවැරැදි ව හඳුනා ගැනීම
කුමන ජන සමාජයක හෝ සාමාජිකයකු තුළ මේ සමාජානුයෝජනය අර්ථවත් ලෙස ඉටු නොවුණහොත් ඔහු සමාජයට අහිතකර පුද්ගලයකු බවට පත් වේ. එය ඒ ජන සමාජය විසංධානයට හේතුවකි. එබැවින් ජන සමාජයක් සන්ධාන ගත කර තබා ගැනීමට අවශ්‍ය ඥානය පරපුරකින් පරපුරකට සපයනු ලබන්නේ ජනශ‍්‍රැතිය මාර්ගයෙන් බව හඳුනා ගත හැකි ය.
සමාජයක් සන්ධානගත ව තිබූ පමණින් ම ඒ සමාජයේ අභිවෘද්ධියක් උදා නො වේ; දියුණුවක් ඇති නො වේ. ඒ සඳහා නව ඥාන සම්භාරයක් ගවේෂණය කළ යුතු ය. එසේ ලබා ගන්නා ඥානය ජන සමාජයට ප‍්‍රදානය කළ යුතු ය.
සොකරි සහ
ඇගේ සේවිකාව කාළි
විවිධ කලා ශිල්ප, ශාස්ත‍්‍ර ඊට නිදසුන් වේ. ශ‍්‍රී ලංකාවේ අදත් විද්‍යමාන විශිෂ්ට ශෛලමය මූර්ති, කැටයම්, ප‍්‍රතිමා මෙන් ම සිංහල වැව් කර්මාන්තය ද ඊට අගනා නිදසුන් වේ. මේ කිසිවක් ආකස්මික ව පහළ වූ ඒවා නො වේ.
 ඒවා නිර්මාණය සඳහා ඉතා සියුම් ශිල්ප ඥානයක් සහ චින්තනයක් අවශ්‍ය කැරේ. ඒ ශිල්ප ඥානය සහ චින්තනය පරපුරකින් පරපුරකට ජනශ‍්‍රැතිය ඔස්සේ රැගෙන පැමිණි පරම්පරා සිටි බවට වර්තමානයේ පවා ශ‍්‍රී ලංකාවේ විද්‍යමාන කලා හා ශිල්ප පරම්පරා ජීවමාන සාධක වේ.
මේ ආකාරයට ජනශ‍්‍රැතියෙහි යම් ජන සමාජයක පාරම්පරික ඥානය අන්තර්ගත ව පැවැතියේ කෙලෙසක ද යන්න ඊ.ඊ. පිචාර්ඩ්, ෆෙඩ්රික් බාර්ක් මෙන් ම රේමන්ඩ් පර්ත් වැනි විද්වතුන් පෙන්වා දී තිබේ.
මේ ආකාරයට යම් කිසි ජන සමාජයක පවත්නා පාරම්පරික ඥානය අන්තර්ගත ජනශ‍්‍රැතිය, කවර අර්ථයෙන් සලකා බැලුවත් ඒ සමාජවල යහ පැවැත්මට සහ අභිවෘද්ධියට හේතු පාදක වී තිබේ.
අප අද දකින මේ ජනශ‍්‍රැතිය පහළ වී ඇත්තේ අද මෙන් සංකීර්ණ නවීන සමාජවල නො වේ. සරල ජන සමාජවල ය. ඒවා බොහෝ විට කෘෂිකාර්මික ගැමි සමාජ වේ. එබැවින් ඒවායේ අන්තර්ගත සියලු ඥානය මෙන් ම සමාජානුයෝජනයට අදාළ අංග ද එම සමාජවලට ගැලැපෙන ආකාරයට සැකැසී තිබේ. වර්තමාන නවීන සංකීර්ණ සමාජවලට එය ඒ ආකාරයෙන් ම ගැලැපෙතැ යි සිතීම ප‍්‍රායෝගික නො වේ.
එය එසේ වුව ද දිගු ඉතිහාසයක් සහිත ජන සමාජවල සංස්කෘතිය සතු මූලික හරය, ඒ ජන සමාජ සතු ජනශ‍්‍රැතීන්හි අන්තර්ගත බව කිසිසේත් ම ලඝු කොට සැලැකිය නො හැකි ය. ඒ යථාර්ථය විද්වතුන් ගේ නොමඳ අවධානයට ලක් විය යුතු ක්ෂේත‍්‍රයකි.
සමාජය කොතරම් සංකීර්ණ වුවත්, දියුණු වුවත්, එම සමාජ විසංධානය නො වී පවතින්නේ එකී සංස්කෘතික පදනම හේතුවෙනි. එසේ නො වූ විට බරපතළ ගැටලු පැන නඟී. ඕනෑ ම ජන සමාජයක සමාජානුයෝජන කි‍්‍රයාවලියේ දී මේ යථාර්ථය ඉතා ප‍්‍රබල ලෙස හඳුනා ගත හැකි වේ.
ජනශ‍්‍රැති කෝෂ්ඨාගාර බවට පත් වී තිබෙන, සාර්ක් කලාපීය රටවල් ප‍්‍රධාන දිගු ඉතිහාසයක් සහ සම්ප‍්‍රදායයන් සහිත රටවල් වර්තමානයේ මුහුණ දී සිටින ඉතා වැදගත් අභියෝගයක් තිබේ.
එනම්, මේ ජන සමාජ දියුණුවීම සඳහා අත්‍යවශ්‍ය සිරිත් විරිත්, හුරු පුරුදු, ආකල්ප, නව ඥානය ආදී සමස්තය, ඒ රටවල ජනතාව අතර ව්‍යාප්ත කරන්නේ කෙසේ ද, ඒ සමඟ ම මුල් නොසිඳුණු ජන සමාජ ලෙස නව ලෝක යථාර්ථයන් හමුවේ නැඟී සිටින්නේ කෙසේ ද යන ආදිය යි.
“සංවර්ධනය” යනුවෙන් පොදුවේ මේ සාමාජික වෙනස හෙවත් වර්ධනය හඳුන්වනු ලැබේ. සාම්ප‍්‍රදායික ඥානයක් සහිත ජන සමාජවලට ඒ සඳහා නව ඥාන සම්භාරයක් මෙන් ම නව ආකල්ප, විශ්වාස ආදිය ලැබිය යුතු ව තිබේ.
ඒවා ජන සමාජය වෙත රැගෙන යෑම සඳහා සාර්ක් කලාපීය රටවල් ඇතුළු තුන් වෙනි ලෝකයේ සියලු ම රටවල් නවීන ජනමාධ්‍ය භාවිත කරයි. එය එසේ වුවත් එකී නවීන ජනමාධ්‍ය වෙතින් ඉදිරිපත් කැරෙන සන්දේශ වෙතින් අපේක්ෂිත ප‍්‍රතිඵල, සාර්ථක මට්ටමින් ලැබී නැති බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලැකූ විට, එහි ජනතාව තමන් තොරතුරු ලබා ගැනීමට අකැමැති ම මාධ්‍යය ලෙස, නවීන ජනමාධ්‍ය දක්වා තිබුණේ ය. ප‍්‍රතිශතයක් වශයෙන් ගත් කල එය මුද්‍රිත මාධ්‍යය 34% ක් හා විද්‍යුත් මාධ්‍යය 58% කි. කට වචනයෙන් ඒ තොරතුරු දැන ගැනීමට අකැමැති වී තිබුණේ ජනතාව ගෙන් 08% ක් පමණකි.
මෙයින් පැහැදිලි වන්නේ ජනමාධ්‍ය මගින් ගෙනෙන තොරතුරු පිළිගැනීමට ජනතාව එතරම් කැමැත්තක් නොදක්වන බව යි. කට වචනයෙන් තමන් වෙත ගෙන එන තොරතුරු ඔවුහු වඩාත් වැඩියෙන් විශ්වාස කරති. එය 54% ක් තරම් ඉහළ ප‍්‍රතිශතයක් ගනී.
මුද්‍රිත මාධ්‍යවලින් ගෙන එන තොරතුරු විශ්වාස කළ ජනතාව ගේ ප‍්‍රතිශතය වූයේ 29% කි. විද්‍යුත් මාධ්‍ය 17% කි. තමන් එතෙක් සහභාගි වී තිබුණු සංවර්ධන ව්‍යාපාර පිළිබඳ තොරතුරු ශී‍්‍ර ලාංකික ජනතාව ගෙන් 64% කට ම ලැබී තිබුණේ කටවචනයෙනි. ඉතිරිය ජනමාධ්‍යවලිනි. ඔවුන් ගෙන් වැඩිම ප‍්‍රතිශතයක් ජනමාධ්‍ය භාවිත කරන්නේ එමඟින් තොරතුරු ලබා ගැනීමට වඩා විනෝදාස්වාදය ලබා ගැනීම පිණිස වේ.
සාම්ප‍්‍රදායික ජන සමාජවල ජනතාව සහ නවීන ජනමාධ්‍ය අතර ඉතා ම සියුම් ආකාරයට මතු වී ඇති මේ බරපතළ ගැටලුවට ප‍්‍රධාන හේතු දෙකක් හඳුනා ගත හැකි වේ. එනම්,
1. තමන්ට උරුම සංස්කෘතියට සහ සම්ප‍්‍රදායට පටහැනි සන්දේශයක් ලැබුණු විට එය පිළිගැනීමට අකැමැති වීම, ඒ දෙස සැකයෙන් බැලීම.
2. නූතන ජනමාධ්‍ය වෙතින් ගෙනෙන නවීන සංවර්ධන සන්දේශ ජනතාවට නිවැරැදි ව අර්ථකථනය කරගැනීමට නොහැකි වීම, වැරැදි අර්ථකථන ලැබීම හෝ අර්ථකථනය විකෘති වීම.
ශී‍්‍ර ලංකාව තුළ මෙතෙක් කි‍්‍රයාත්මක කළ දැවැන්ත ම සංවර්ධන ව්‍යාපාරය වූ මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපාරයේ දී මේ යථාර්ථය මැනැවින් හඳුනා ගත හැකි විය.
මේ ගැටලුවේ අනෙක් අන්තය වනුයේ, නවීන ජනමාධ්‍යවලට ගැමි ජනතාව එක්වර ම විවෘත වීම නිසා ඔවුන් කම්පනයකට පත් වීම යි. තමන් කළ යුත්තේ කුමක් දැ යි තෝරා බේරා ගැනීමට නො හැකි තත්ත්වයකට මේ නිසා ඔවුහු පත් වෙති.
විශේෂයෙන් ම නවීන ජනමාධ්‍ය මඟින් ඉදිරිපත් කරන සන්දේශවල අන්තර්ගතයන් ඔස්සේ, ජන සමාජවල සාරධර්ම සහ පුරුෂාර්ථ නොසලකන, ගණන් නොගන්නා තත්ත්වයක් එමඟින් ඇති වේ.
එහි බරපතළ ප‍්‍රතිඵලය, ජන සමාජයේ මුල් සිඳී යෑම යි. ශී‍්‍ර ලංකාව පිළිබඳ තත්ත්වය එ සේ වුව ද දිගු ඉතිහාසයක්, සංස්කෘතියක් හා සභ්‍යත්වයක් උරුම කරගෙන තිබෙන සාර්ක් කලාපීය රටවල් බොහොමයකටම මේ යථාර්ථය පොදු වේ.
මේ රටවල ජන සමාජවල නවීන සංවර්ධන කාර්යය සඳහා සන්දේශ ගෙන යෑමට මතු නො ව සමාජ සන්ධාන කාර්යයේ ද ඉතා පුළුල් ප‍්‍රතිඵල ලැබීම සඳහා ජනශ‍්‍රැතියෙන් කවරා’කාර පිටිවහලක් ලබා ගත හැකි වේ ද? මේ පිළිබඳ විචාරශීලී ව විමර්ශනය කිරීමට අපට කාලය පැමිණ තිබේ.
විශේෂයෙන් ම ජන කතා, ජන කවි, ජන නාටක වැනි ජනශ‍්‍රැතියේ අංග රැසක් ඉතා සියුම් ලෙස විමර්ශනය කිරීම මේ සඳහා අත්‍යවශ්‍ය වේ. ජනශ‍්‍රැතියේ එන ජනකතාවලින් වැඩි ම ප‍්‍රතිශතයක අන්තර්ගතය ඉතා සියුම් ආකාරයට ජීවිතය සහ ලෝකය පිළිබඳ ප‍්‍රායෝගික අවබෝධය, ජන සමාජයේ සාමාජිකයන්ට ලබා දීම සඳහා සකස් වී ඇති බව හඳුනා ගත හැකි වේ. ශී‍්‍ර ලංකාවේ ‘නරියා’ සම්බන්ධ ජනකතා සියල්ල ම පාහේ විමර්ශනය කළ විට එහි අන්තර්ගතය පැහැදිලි ව ම කොටස් දෙකකට බෙදෙන බව පෙනේ.
1. සිය කපටිකම නිසා නරියා කරදරයේ වැටීම.
2. නරියා ගේ සියුම් බුද්ධිය නිසා, කරදරයට වැටුණු අය එයින් ගැලැවීම.
ඒ සඳහා ඉතා කෙටි උදාහරණයක් මෙසේ ය.
“එක්තරා ගමරාල කෙනෙක් කැලේ මැදින් ගමනක් යන විට උගුලකට හසුවී සිටි කොටියකු දුටුවේ ය. කොටියා ගේ ඉතා බැගෑපත් ඉල්ලීම නිසා කම්පාවට පත් ගමරාල, ඌ ඒ උගුලෙන් ගලවා ගත්තේ ය. ඒ සමඟ ම, ඉතා බඩගින්නේ සිටි කොටියා ගමරාල මරාගෙන කෑමට සූදානම් වූයේ ය. ගමරාල කොතෙක් කරුණු කියා අභය ඉල්ලුවත්, කොටියා එය ගණනකටවත් නො ගත්තේ ය.
මේ කරන දෙය සාධාරණ දැ යි, තවත් කෙනකු ගෙන් අසා, ඒ උපදෙස් අනුව කටයුතු කිරීමට අවසානයේ දෙදෙන ම එකඟත්වයකට පැමිණිය හ. ඒ අනුව ඉදිරියට ගමන් කළ කොටියාට සහ ගමරාලට හමුවූයේ නරියෙකි. ගමරාල නරියාට තම නඩුව කීවේ ය. මහත් උවමනාවෙන් නඩුව අසා සිටි නරියා මෙසේ කීවේ ය.
“මට මේ සිද්ධිය හරි හැටි පැහැදිලි නෑ. අපි යමු, මේක සිද්ධවෙච්චි තැනට.” එය පිළිගත් තිදෙන ම උගුල වූ තැනට ගිය හ. උගුලට හසු වී සිටි ආකාරය තේරුම් ගැනීමට, නරියා ගේ උපදෙස් පිට කොටියා යළි උගුලට පැන්නේ ය.
අතපය සෙලවීමටවත් නො හැකි ලෙස කොටියා උගුලේ සිර විය. ගමරාල දෙසට හැරුණු නරියා කියා සිටියේ “මෝඩ ගමරාල, කළගුණ නොදන්න අසත්පුරුෂයන්ට උදව් කරන්න යන්න එපා. කෙළෙහි ගුණ නොදන්න අයට උදව් කරන්න ගියාම, තමන්ම අමාරුවෙ වැටෙනවා. දැන් ඉතිං පරාණේ බේරගෙන තමුන් යන්න ආ ගමනක් යනවා.” යනුවෙනි.
මේ රසවත් ජනකතාව අසා සිටින ගැමි දරුවා තුළ ජීවිතය පිළිබඳ ඉතා පුළුල් ප‍්‍රායෝගික ඥානයක් ක‍්‍රමානුකූල ව ගොඩනැඟීම සාමාන්‍ය කාරණාවක් බවට පත් වේ. ගැමි සමාජයේ දරුවන්ට මෙවැනි රසවත් ජන කතා ඉතා විශාල ප‍්‍රමාණයක් සිය වැඩිහිටියන් වෙතින් අසන්නට ලැබුණේ ය.
එහි ප‍්‍රතිඵලය වූයේ විනෝදාස්වාදය සමඟ ම, ජීවිතය පිළිබඳ ගැඹුරු යථාවබෝධයක් සහ සමාජානුයෝජනයක් ද තමන් නොදැනුම්වත්ව ම ඔවුනට ලැබීම යි.
ජනශ‍්‍රැතියේ එන ජන කවි ද එසේ ම ය. ඒවා ජනතාව ගේ සුඛ-දුක්ඛ වේදනාවන් ඉතා නිර්ව්‍යාජ ව කැටිකරගෙන තිබේ. එබැවින් ම ඒවා ඔවුන් ගේ ප‍්‍රායෝගික ජීවිතය පිළිබඳ ව ද මැනැවින් හෙළි කරයි. මේ එවැනි ජන කවියකි.
“මල්ලියි මමයි තනි පාරේ යන කලට
බඩගින්නක් ඇල්ලුව බෑ ඉවසන්ට
බඩගිනි කියා කොයි හෙවණට අපි යන්ට
යමං මලේ අම්මා වැළලුව තැනට”

මේ ජන කවියට අනු ව, කුඩා සොහොයුරෝ දෙදෙනෙක් ගමනක් යති. ඒ ගමන අතරමඟ දී ඔවුනට ඉවසිය නො හැකි තරමේ බඩගින්නක් දැනුණේ ය. එහෙත් ඒ බඩගින්න නිවා ගැනීම සඳහා යෑමට තැනක් නැත.
මන්ද යත් ඔවුන් ගේ මව මිය ගොස් ඇති බැවිනි. බඩගින්නක්, සංවේගයක් දරා ගත නො හැකි තැන අයියා කියන්නේ, “අම්මා වැළලුව තැනට යමු” කියා යි. මේ කවිය අසා සිටින ගැමියා තුළ මේ අසරණ දරුවන් කෙරේ ප‍්‍රබල අනුකම්පාවක් ඇති වීම ස්වාභාවික ය. එලෙසින් සියුම් වූ හදවතක් ඇති, අනුන් ගේ දුක දන්නා සමාජයක කවුරු අසරණ වෙත් ද?
මේ, ජන කවි අතර එන පෙම් කවියකි.
“වසා ගෙන දෙනත අතකින් කිම ද නගෝ
අල්ලාගෙන නෙරිය අතකින් කිම ද නගෝ
තනි මඟ ගමන් හැන්දෑවේ ඇයි ද නගෝ
අම්බලමේ අද ඉඳලා යමු ද නගෝ”

හැන්දෑවක දී, තනි මඟ හමු වූ රූමත් තරුණියකට, පෙම්වතකු කළ සරාගී ආරාධනයක් මේ ජනකවියට නිමිත්ත වී තිබේ. තමා සමඟ රාති‍්‍රයේ නවාතැන් ගැනීමට තරුණියට කරන ආරාධනය, කොතරම් සංයමයකින් කිරීමට, මේ තරුණයා සමත් වී තිබේ ද යන වග, මෙහි පැහැදිලි ව හඳුනා ගත හැකි ය. දෙතනත් වසා ගෙන, ඉණ රැඳි රෙදි පටත් ඔසවාගෙන, හැන්දෑවේ තනි මඟ ගමන් යන්නේ ඇයි? තරුණයා ව්‍යංගයෙන් පවසන අදහස මැනැවින් තේරුම් ගන්නා තරුණිය එය ප‍්‍රතික්ෂේප කරන්නේ ද ඉතා ම සංයමයකිනි. තරුණයා ගේ සිත නොරිදෙන පරිද්දෙනි. තමා ගේ ආරක්ෂාව ද ඉතා සියුම් ලෙස සලසා ගනිමිනි.
ඇය පවසන්නේ, දෙතන වසාගෙන සිටින්නේ බිලිඳ්‍ර ගේ කිරි නිසා බව යි. ඇය මවක බව එයින් ගම්‍ය කැරෙයි. සළුව ඔසවාගෙන සිටින්නේ මඩ තැවරෙන බැවිනි. ඉක්මන් ගමන් යන්නේ බාල මස්සිනා ළඟ ළඟ ම එන බැවිනි. ජනශ‍්‍රැතිය තුළ පේ‍්‍රමය, ගෘංගාරය පවා ප‍්‍රකාශ කර ඇති සංයමය, ඒ ජන සමාජයට ඉතා හිතකර එකක් බව මෙයින් පෙනේ.
මේ ජනශ‍්‍රැති සම්භාරය ම මනා ලෙස විමර්ශනය කරන විට, ඒවායේ අන්තර්ගත සන්දේශය, එතරම් හොඳින් සහ සාර්ථක ලෙස ජනතාවට සන්නිවේදනය වනුයේ කවර කාරණා නිසා ද යන්න මැනැවින් හඳුනා ගත හැකි වේ.
ගැමි ජන ජීවිතයේ උපමා, රූපක, සංකේත, සංකල්ප ආදියෙන් ජනශ‍්‍රැතිය නිරන්තරයෙන් ම පෝෂණය වී තිබේ. ඒවා ඒ ඒ ජන සමාජවලට ඉතා ම සමීප ය. ආගන්තුක නො වේ. තේරුම් ගැනීම ඉතා පහසු වේ.
තමන් දන්නා දෙයක් ඇසුරින් නොදන්නා දෙයක් කියන විට, එය නිවැරැදි ව තේරුම් ගැනීම ඉතා ම පහසු වේ. ඒවායේ අර්ථකථනය දුර්බෝධ හෝ විකෘත හෝ නො වේ. එමෙන් ම ඒවා විශ්වසනීයත්වයෙන් ද ඉතා ඉහළ අගයක් ගනී.
නවීන ලෝකයේ ජනමාධ්‍ය වෙතින්, සංවර්ධන සන්නිවේදන සංදේශ ඉදිරිපත් කිරීම සඳහා අපට අගනා පිටිවහලක් ලබා ගත හැකි වනුයේ අපේ ජනශ‍්‍රැතිය සතු මේ අංගවලිනි.
ජනශ‍්‍රැතිය සතු ජන නාටක, මේ සඳහා ඉතා වැදගත් අංගයක් ලෙස සැලැකිය හැකි වේ. ඒවා දෘශ්‍ය නිර්මාණ වීම ඒ සඳහා ප‍්‍රබල සාධකයක් වේ. පළමු ව මේ ජන නාටකවල සියලු පාත‍්‍රවර්ගයා සඳහා රංග ශිල්පීන්, ගැමි ජන සමාජයේ ම තමන් දන්නා හඳුනන, තම අසල්වාසීන් අතරින් ම තෝරා ගැනීම සිදු කැරේ.
එහි දී ස්තී‍්‍ර - පුරුෂ සියලු ම චරිත පුරුෂයන් විසින් ම රඟ දක්වනු ලැබේ. දෙවැනි ව රංගනය සඳහා අවශ්‍ය වෙස් ගැන්වීම්, වස්ත‍්‍රාභරණ ආදියේ සිට සංගීත භාණ්ඩ ආදිය දක්වා සියලු දේ ගැමියෝ තමා අවට පරිසරයෙන් ම සපයා ගනිති.
 මේ ජන නාටක රංගගත කැරෙන්නේ ද එක්කෝ ගොයම් කපා පාගා ගත් ඉපනැල්ලක කම්තක ය. නැත්නම් වැව් තාවල්ලක හෙවත් වැව් ඉස්මත්තක ය. ඇතැම් විට පන්සල් මිදුලේ ය. රාති‍්‍රයක් හෝ රාතී‍්‍ර කීපයක් හෝ පුරා රඟ දක්වන මේ ජන නාටක සඳහා අතීතයේ දී නම් ආලෝකය ලබා ගෙන ඇත්තේ මී තෙල් වැනි තෙල් පන්දම් දැල්වීමෙනි.
මෑතක් වන විට එය කිට්සන් පහන් හෝ පෙට්ටෙ‍්‍රාමැක්ස් ලාම්පු දක්වා දියුණු වී තිබේ. මේ සියල්ල ගැමි ජීවිතය හා පරිසරය සමඟ ඉතා අවියෝජනීය ලෙස බද්ධ වී තිබේ.
ජන නාටකවල අන්තර්ගත කතා පුවත වන්නේ ද තමා හොඳින් දන්නා ගැමි ජන සමාජයේ ම ප‍්‍රචලිත එකකි. ශී‍්‍ර ලංකාවේ “කෝලම් නාටක” ඊට එක් නිදර්ශනයක් පමණකි. ඇතැම් ජන නාටකවල ආගමික කතා නිරූපණය කැරේ. ශී‍්‍ර ලංකාවේ රඟ දැක්වෙන සඳ කිඳුරු නාඩගම,, සූවිසි විවරණය, මනමේ කතාව මෙනි.
තවත් ජන නාටකවලට පසුබිම් වී ඇත්තේ දේව විශ්වාස වේ. “සන්නි යකුම”, “රටයකුම”, “කොහොඹ කංකාරිය” ආදී සියලු ම ශාන්තිකර්ම මෙනි. තවත් අවස්ථාවක මේ සියල්ල ම එකට සම්මිශ‍්‍රණය වූ ලක්ෂණ පෙන්වන ඇතැම් ජන නාටක ද දැක ගත හැකි වේ. ශී‍්‍ර ලංකාවේ ගම්වල රඟ දැක්වෙන ‘සොකරි කතාව‘ ඒ සඳහා ගත හැකි ඉතා විශිෂ්ට නිදර්ශනයකි.
මේ කවර ජන නාටකයක වුව ද අන්තර්ගතය හා ඒවා ඉදිරිපත් කරන ස්වභාවය නිරීක්ෂණය කරන විට එමඟින් සාධනය කැරෙන පරමාර්ථ කීපයක් පැහැදිලි ව හඳුනාගත හැකි ව පවතී.
ගැමි ජන සමාජයේ සමාජානුයෝජනය, විනෝදාස්වාදය, විශ‍්‍රාන්තිය, සහනශීලී බව, එකමුතු බව, ආගමික භක්තිය මෙන් ම සමාජ සංවර්ධන ආදී කරුණු ඒ අතර ප‍්‍රධාන වේ. මේ සියල්ල ම කවර ජන සමාජයක වුව, සමාජ සංවර්ධධනයට හා අභිවෘද්ධියට හේතු වන අංග වේ. ඒවා අතරින් නොනැසී ඉදිරියට ගෙන යන පාරම්පරික ගැමි ඥානය කවර ජන සමාජයකට වුව ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි.
මෙහි දී මම, නිදර්ශනයක් ලෙස ශී‍්‍ර ලංකාවේ ප‍්‍රචලිත ගැමි ජන නාටකයක් වූ “සොකරි කතාව“ තෝරා ගැනීමට කැමැත්තෙමි. ශී‍්‍ර ලංකාවේ සොකරියට සෑම අතින් ම සමාන ලක්ෂණ ප‍්‍රකට කරන “නවුටන්ක්” නම් වූ ජන නාටකයක් ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තය ඇතුළු හින්දි භාෂාව ව්‍යවහාර කරන සමාජයේ ද ප‍්‍රචලිත ව තිබේ. සොකරි කතාවේ අන්තර්ගතය මෙසේ ය.
”සොකරි යනු ඉතා රූමත් තරුණ ස්ති‍්‍රයකි. ගුරුහාමි නම් වියපත් පුරුෂයකු හා විවාහ වී සිටින සොකරියට දරුවන් නැත. ගුරුහාමි ගසක් කපා නැවක් සාදවා ගෙන ලංකාවට එන්නේ තම බිරියට දරුවකු ලැබීම පිණිස ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවියන්ට බාරයක් වීම පිණිස ය.
මේ ගමනට ගුරුහාමි ගේ සේවකයා වූ “පරයා” හෙවත් “පච්චමීරා” සහ සොකරිය ගේ සේවිකාව වූ “කාලි” ය ද එක් වෙති. විවිධ බාධක මැද ලංකාවට පැමිණෙන ඔවුහු, තඹරාවිට ගමේ නවාතැන් ගැනීමට සැරැසෙති. එහි දී බල්ලකු සපා කෑම නිසා ගුරුහාමි රෝගාතුර වේ. ඔහුට ප‍්‍රතිකාර කිරීමට තඹරාවිට වෙදරාල පැමිණෙයි. රාති‍්‍රය පුරා කැරෙන වෙදකම අවසානයේ දී වෙදරාල සොකරිත් රැගෙන රහසේ ම පලා යයි.
බිරිය ගේ වියෝවෙන් මහත් ලෙස සෝක වන ගුරුහාමි ඇය සොයමින් ඇවිදී. ශාස්ත‍්‍රයකින් කියැවුණු මඟ ලකුණු ඔස්සේ යන ඔහුට අවසානයේ වෙදරාල සමඟ සිටින සොකරි හමුවේ. ඔහු ඔවුන් දෙදෙන ම රැගෙන පැමිණේ. අවසානයේ සොකරියට දරුවකු ලැබේ. ඉක්බිති සියල්ලෝ ම සතුටින් වාසය කරති.”
රාති‍්‍රයක් පුරා රඟ දැක්වෙන සොකරි ජන නාටකය පෙ‍්‍ර්ක්ෂකයා තුළ අප‍්‍රමාණ වූ හාස්‍යයක් ඇති කරවයි. විශේෂයෙන් ම “පරයා” ගේ හැසිරීම් සහ “ගුරුහාමි” ගේ ඉතා දුර්වල භාෂාව හැසිරවීම ඊට හේතු වේ. එළිමහනේ, සීතලේ, පින්නේ එකෙකාට ඉතා සමීප වෙමින් ගැමියෝ සොකරි නාටකය නරඹති. පරයා ගේ ද්විත්ව අරුත් නංවන කතා ඔවුහු සිනාසෙමින් අසති.
ඔහු ගැහැනු පිරිමි භේදයක් නැති ව අතට අසුවන තැනින් අල්ලා, රඟමඬලට සමීප වන පෙ‍්‍ර්ක්ෂකයන් ඈතට කරති. ගැමියන් ඒවා කෙරෙන් ලබන විනෝදාස්වාදය, විශ‍්‍රාන්තිය මෙන් ම සහනශීලී බව ද අප‍්‍රමාණ ය.
ගුරුහාමි, තමා අතැර, පර පුරුෂයකු හා පලා ගිය සිය බිරිය භාර ගැනීමෙන් කරන්නේ උදාර කැප කිරීමකි. එය විවිධ අරුත් නංවයි. වඳ යැයි කියූ සොකරිට මේ සම්බන්ධය නිසා දරුවකු ලැබේ.
සොකරි ජන නාටකය අවසන් වන්නේ, දරුවා පෙ‍්‍ර්ක්ෂකයන්ට පාමින් නැළැවීමෙනි. සොකරියේ එන මේ දරු උපත සශී‍්‍රකත්වය පිළිබඳ ගැඹුරු අරුතක් ජනිත කරවයි. ඉතා කෙටියෙන් බලන කල සොකරි ගැමි නාටකයෙහි අන්තර්ගත පණිවිඩය “එකමුතුකම, සාමුහිකත්වය, සාමකාමී බව, සහයෝගය මෙන් ම සංවර්ධනය” බව හඳුනාගත හැකි වේ. එය ගැමි දිවියට ඉතා සියුම් සහ රසවත් ලෙස ඇතුළු කිරීමට සොකරි ගැමි නාටකය සමත් වන ආකාරය විස්මය ජනක ය.
ජන නාටක පමණක් ම නො වේ. ජනශ‍්‍රැතියට අයත් සියලු ම අගයන්හි ඇති මේ විශිෂ්ට ලක්ෂණ වර්තමානයට ද එක ලෙස වලංගු වේ. එක ම වෙනස නම් අතීතයේ තිබූ සරල සමාජ වර්තමානයේ දී සංකීර්ණ සමාජ බවට පත් වී තිබීම පමණකි. එදා වූ සාම්ප‍්‍රදායික සරල සන්නිවේදනය වෙනුවට නවීන සමාජවල තාක්ෂණික වශයෙන් ඉතා දියුණු ජන මාධ්‍ය ප‍්‍රචලිත වී තිබීම පමණකි.
මේ නවීන ජනමාධ්‍ය අවිචාරශීලී ලෙස භාවිත කිරීමේ ප‍්‍රතිඵල අපි අද විවිධ ආකාරයෙන් අත් විඳිමින් සිටිමු. නවීන ජනමාධ්‍ය වැලැඳ ගෙන සිටින වර්තමාන සමාජ වෙතින් ජනකතාව සහ ජනකවිය මෙන් ම ජන නාට්‍යය ද ක‍්‍රමයෙන් දුරස් වෙමින් පවතී.
අදින් පරම්පරාවකට හෝ දෙකකට පෙර දී දරුවන් කුඩා කල ඇසූ මේ ජනශ‍්‍රැතිය වෙතින් ලද ඥානය හෝ සමාජානුයෝජනය වර්තමානයේ ලැබෙමින් පවතින්නේ නූතන ජනමාධ්‍ය වෙතිනි. ඒ අප ගේ ජන සමාජ සතු දිගු සංස්කෘතියට අනුගත ආකාරයට නො වේ. අනාගතයේ පෞරුෂයක් නැති ජනතාවක් බිහිවීම එහි අවසාන ප‍්‍රතිඵලය වේ.
කවර ජන සමාජයකට වුව ද දියුණු විය හැකි වනුයේ ස්වකීය සංස්කෘතිය මත ස්ථිරසාර ව දෙපය තබා ගෙන නව ලෝකය හා විචාරශීලී ලෙස සම්බන්ධ වීමෙන් පමණකි. තම සංස්කෘතිය මත තර ව දෙපා රඳවා ගැනීම පිණිස ජනශ‍්‍රැතිය විපුල මෙහෙවරක් ඉටු කරයි.
අද සාර්ක් කලාපයට අයත් අපේ රටවල ජනතාවට අවශ්‍ය ව ඇත්තේ, නව ලෝකය හා අත්වැල් අල්ලා ගැනීම පිණිස වූ ශීඝ‍්‍ර සංවර්ධනයකි. ඒ සඳහා අපට නව ඥානය හා නව ආකල්ප අවශ්‍ය වේ.
අපට නුහුරු නුපුරුදු මේ නව ඥානය සහ ආකල්ප, අපේ රටවල වැඩි ම ප‍්‍රතිශතයක් වන ගැමි ජන සමාජය වෙතට අර්ථ සම්පන්න ව රැගෙන යෑමේ අභියෝගය ජය ගැනීමට පිණිස ජනශ‍්‍රැතිය වෙතින් ලද හැකි ආලෝකය අපමණ බව මෙයින් පැහැදිලි වේ. අපේ ජනශ‍්‍රැතියෙහි අන්තර්ගත සාධනීය ලක්ෂණ ඉතා ම සුපරීක්‍ෂාකාරී ව සහ නිවැරැදි ව තෝරා ගැනීම පිණිස අපට දැන් කාලය පැමිණ තිබේ.
එකී සාධනීය ලක්ෂණ නව සංවර්ධන සංදේශ ජනතාව කරා රැගෙන යෑම සඳහා ඉතා නිර්මාණශීලී ව භාවිත කළ හැකි බව පර්යේෂණ මඟින් සනාථ වී තිබේ.
ඒ පර්යේෂණවලින් හෙළි වී ඇති ආකාරයට, ජන සමාජ සතු ජනශ‍්‍රැතිය නිසා සමාජ සන්ධාන ගත වීම ශක්තිමත් කැරේ. එමෙන් ම සමාජය සතු පාරම්පරික ඥානය නව පරපුරට ප‍්‍රදානය කිරීම පිණිස ජනශ‍්‍රැතිය විපුල මෙහෙවරක් ඉටු කරයි.
ඒවා ජන සමාජයට විනෝදය, විශ‍්‍රාන්තිය සමඟ සහනශීලී බව ද ගෙන එයි. මේ අංග සියල්ල ම නවීන සංකීර්ණ සමාජවල අවශ්‍යතා ඉටු කිරීම පිණිස ඉතා නිර්මාණශීලී ව සහ ඉහළ පලදායිත්වයකින් යුක්ත ව භාවිත කළ හැකි වේ.
මේ නිසා අප ගේ ජනශ‍්‍රැතිය තවදුරටත් කෞතුක භාණ්ඩ වශයෙන් තබා ගැනීමට නො ව, සමාජ ප‍්‍රගමනයට හේතු වන්නා වූ අගනා මෙවලමක් ලෙස භාවිතයට ගැනීම පිණිස නව දෘෂ්ටිකෝණයකින් විමර්ශනය කිරීමට අප තවදුරටත් පමා විය යුතු නො වේ.
  ඉන්දියාවේ නවදිල්ලි නුවර දී සාර්ක් ලේඛක සහ සාහිත්‍ය පදනම මඟින් පැවැත්වුණු’ Seminar - Cum Festivel of SAARC Falklore’ වෙනුවෙන් සහභාගි වූ කේ.එම්.අයි. ස්වර්ණසිංහ ඉදිරිපත් කළ පර්යේෂණ ලිපිය යි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අප ගේ ජනශ‍්‍රැතිය..... වසා ගෙන දෙතන අතකින් කිම ද නගෝ Rating: 5 Reviewed By: Unknown