රෝයි ද සිල්වා
මම එච්.ආර්. ජෝතිපාලයන් දැන හඳුනා ගන්නට ලැබෙන්නේ ‘සුදු දුව‘ චිත්‍රපටයෙන්. සුන්දර මනුෂ්‍යයෙකු විදිහට මට ඔහු මුණ ගැසීමත් අපූරු සිදුවීමක්. ‘සුදු දුව‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරාගෙන හිටියේ ජෝතිපාලව. නමුත් ඒ වෙනකොට චිත්‍රපට කිහිපයක රඟපෑම් කරලා මගේ නමත් හදාගෙන එනකොට මාව දැම්මා එහි ප්‍රධානම චරිතෙට.සන්ධ්‍යා කුමාරි එක්ක තමයි මම රඟපෑවේ... “‘ආවා සොයා ආදරේ ගීතේ ගයයි සාගරේ” ගීතය ‘සුදු දුව‘ චිත්‍රපටයට ගායනා කළෙත් ජෝති.
ඇත්තටම මම හිතුවේ ඔය සිද්ධියත් එක්ක ජෝති මා එක්ක වෛර බැඳගෙන ඇති කියලා. ඒත් එදා හවස මම වෙනත් චිත්‍රපටයක රූගත කිරීමක හිටියේ ලංකා චිත්‍රාගාරයේ. එතෙන්ට ආව ජෝති මාව මුණගැහිලා මාව එක්කරගෙන ගිහින් බීර බෝතලයකුත් බීලා බිරියානු එකකුත් කාලා මට සුබ පැතුවා ඒ චරිතේ හොඳට කරන්න කියලා කිව්වා. එදා ඉඳලා පුදුම මනුෂ්‍යත්වයක් මම ජෝතිපාල තුළ දැක්කේ. මගේ චිත්‍රපට ගණනාවකම පසුබිම් ගීත ගායනා කළේ ජෝති.
1972 මාව ඉහළටම අරගෙන ගියේ ජෝතිගේ ‘චන්දන ඇල්ලෙන් නාලා’ ගීතය තිබුණු ‘සුජීවා’ චිත්‍රපටය. ඔහු මා වෙනුවෙන් ඒ ගීතය ගායනා කළේ. ඇත්තටම ජෝති පුදුම ආසාවකින් හිටියේ රඟපාන්න. 1970 දී ‘ගීතා’ චිත්‍රපටයේ ජෝති දුෂ්ටයා රඟපාද්දී මම කොල්ලට රඟපානවා. ඒත් මගේ හැම රංගනයකම ගීත කිව්වේ ජෝති. ‘ඔබයි මමයි’, ‘සූකිරි කෙල්ල,’ චිත්‍රපටවල මගේ මතකයේ හැටියට ජෝති දුෂ්ටයා. මම කොල්ලා. වැඩිපුරම ජෝති චිත්‍රපටවල රඟපෑවේ මාත් එක්ක.
අනෙක් දේ ජෝති හාපුරා කියලා නිෂ්පාදනය කළ ‘සුමිතුරෝ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න දුන්නෙත් මට. දැනට පද්මසිරි කොඩිකාර නිෂ්පාදනය කරන ‘සදාදරණීය ජෝති’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත් මම. ඒ කාලේ සමහරු ජෝතිට පුදුම කෙනෙහෙළිකම් කළේ. ඔහු ගායකයෙක් ද කියලත් ඇහැව්වා. හැබැයි ජෝති ඉදිරියට යනකොට ඒ අය ඔහුව අගය කරන්න ගත්තා. අර කතාවට කියනවා වගේ රබර් බෝලයක් මොන තරම් වතුර යට තියාගෙන හිටියත් උඩට එනවා වගේ ජෝති නැති කරන්න කාටවත් බැරිවුණා.
අද වෙනකොටත් සිනමාවේ ජෝතිපාලගේ අඩුව පුරවන්න කිසිම කෙනෙකුට බැරි වුණා. හින්දි සිනමාවේ මොහොමඩ් රාෆි වගේ ජෝති ගායනා කළේ ඒ ඒ නළුවගේ රංගනයට. මට මතකයි ‘හිටින්න පොඩ්ඩක් හිටින්න’ ගීතය පටිගත කරද්දී මාව එක්කරගෙන ගිහින් උඹේ ඇක්ෂන් දාලා මම මේක කියන්නේ බලපං කියලා කිව්වා. ඒ වගේ ම ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග වගේ නළුවන්ට වුණත් ඔවුන්ගේ රංගන ස්වභාවයට උචිත ලෙසයි ඔහු ගීතය ගායනා කළේ. ජෝති ඒ තරම්ම දක්ෂයෙක්.
හැබැයි කොයිතරම් සින්දු කිව්වත් ජෝතිව සම්මානයෙන් නම් පිදුම් ලැබුවේ ටිකයි. ‘මිහිදුම් සිහින’ චිත්‍රපටයේ ‘සරා සෙඳ්’ ගීතයට ‘සරසවිය’ සම්මානයක් ලැබුණා ඔහුට. කිසිම වෙලාවක ඔහු මුදල් පන්නගෙන ගිය කෙනෙක් නෙවෙයි. ක්ෂේත්‍රයට කලාවට, මිනිසුන්ට ආදරය කළා, උදව් කළා විතරයි ජෝති කළේ. ඒ වගේමයි ‘තණ ගිරවි’ චිත්‍රපටයට ‘කඳුළු පැතුම් තුන් සිතින් දරා’ ගීතය අමරදේව මාස්ටර්ගේ ශෛලිය හැටියට අවශ්‍යව තිබුණා.
සරත් දසනායක සංගීතය නිර්මාණය කරද්දී උපාලි ධනවලවිතාන එය රචනා කළේ. ජෝති ඉතාම හැඟුම් බරව ඒ ගීතය ගායනා කළේ. මම ඇහැව්වා ජෝතිගෙන් ඔයාට මේකට ඕන මුදල කියන්න කියලා. පස්සේ මට කියනවා, “මචං උඹට සල්ලි තියෙනවද මට දෙන්න” කියලා. එතරම්ම ඔහු නිහතමානී මනුෂ්‍යයෙක්. මම හිතන්නේ නෑ ලෝකයේ කිසිම කෙනෙක් එහෙම කතා කරයි කියලා. එක පැත්තකින් ජෝති කියන්නේ එල්විස් ප්‍රෙස්ලි වගේ ගායකයෙක්. ඇත්තටම ඔහු අමරණීය චරිතයක්.
ඒත් අද මට හරිම දුකක් ඇතිවෙන්නේ අද තරුණ පරම්පරාව ජෝතිගේ ගීත ගායනා කරනවා. ඔහු නිසා ජීවත් වෙනවා. කැසට් ගහනවා. නමුත් කටක් ඇරලා කියනවද මම මේ ගායනා කරන්නේ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීතයක් කියලා. සමහරු එම ගීත රැප් කරනවා. පුදුම විනාශයක් කරන්නේ.
ඒක ඇත්තටම ජෝතිට කරන විශාල අපරාධයක්. පාපයක්. ජෝති වෙන්න කාටවත් බැහැ. ඔහු රසික ජනතාව අතර හිණිපෙත්තටම ගිය කලාකරුවෙක්. පරම්පරා කීයක් අතරේ වුණත් අදටත් ජෝතිගේ ගීත ජනප්‍රියයි. නමුත් මට මෙතැනදි එක ප්‍රශ්නයක් මගේ ඔළුවට එනවා. ඒ තමයි ඔහු ලංකාවෙන් පිදුම් ලැබුව ද කියන එකයි. ඔහු වෙනුවෙන් යමක් සිදුවුණා ද? ඒත් ඔහු ඉන්දියාවේ හිටියා නම් ප්‍රකෝටිපතියෙක්. ජෝතිට ඒ ගෞරවය පුද කරන්න පුළුවන් එකම දේ මට කියන්න පුළුවන්. ඒ තමයි ඔහුගේ ගීත විනාශ කරන්න එපා කියන එකයි. මරන්න එපා කියන එකයි.
0 comments:
Post a Comment