මුස්ලිම් මවුවරුන් පාසලට එන විට දුටු විගස කෙනකුට හඳුනා
ගැනීමට හැකිවන පරිදි ඇඳුම සකස් විය යුතුයි
- අගවිනිසුරු මොහාන් පීරිස්
මුස්ලිම් මවුවරුන්ට හුරු පුරුදු සංස්කෘතික ඇඳුමෙන් පාසල්වලට පැමිණිය හැකි නමුත් දුටු විගස කෙනකුට හඳුනා ගැනීමට හැකිවන පරිදි ඒ ඇඳුම සකස් විය යුතු යෑයි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඊයේ අවධාරණය කළේය.දියණියන් දෙදෙනෙක් ඉගෙනුම ලබන රාජගිරිය ජනාධිපති බාලිකා විද්‍යාලයට ගිය මුස්ලිම් ජාතික මවක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ වැඩිදුරටක් විභාගයට ගත් අවස්ථාවේදී අගවිනිසුරු එසේ සඳහන් කළේය.
මෙහිදී පැහැදිලිව ප්‍රකාශ වූයේ කිසිවකුට හඳුනා ගැනීමට නොහැකි වන පරිදි කවර හෝ ඇඳුමක් ඇඳගෙන විශේෂයෙන් මුහුණ ආවරණය වන පරිදි පාසලකට පැමිණීම සිදු නොවිය යුතු බවයි.
තැනට උචිත වන ආකාරයට ඇඳ පැළඳ සිටිය යුතු බවත් නැති ප්‍රශ්න මතුවන්නේ අසාමාන්‍ය ඇඳුමින් පාසල්වලට පැමිණීම නිසා බවත් අගවිනිසුරුවරයා කීය.
මේ පෙත්සම ගොනුකර තිබුණේ රාජගිරිය ජනාධිපති බාලිකා විදුහලේ විදුහල්පතිනියට හා බස්නාහිර පළාත් කලාප අධ්‍යක්ෂවරුන්ට හා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ට එරෙහිවය.
පෙත්සම්කාරිය මුස්ලිම් ආගමික හා සංස්කෘතික චාරිත්‍රවලට ඇඳුමක් ඇඳගෙන විදුහලට ගිය විට ශිෂ්‍යාවන් කීපදෙනකුගේ දෙමව්පියන් ඇයට උසුළු විසුළු හා සමච්චල් කරමින් විදුහල් භූමියෙන් ඉවත්ව යන තැනට කටයුතු යෙදූ බව පෙත්සමෙන් චෝදනා කර තිබිණි. ඇය පෙත්සමෙන් ඉල්ලා සිටියේ ඇයට අත්විඳීමට සිදුවූ හිරිහැරය හේතුකොට ගෙන ඇයට තමන් කැමති ආගමික විශ්වාසයක් දැරීමට හා ඇදහීමට ඇති අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙසයි.
මුස්ලිම් ඇඳුමින් සැරසී තම දරුවන් ඉගෙනීම ලබන පාසලට යැමට ඉඩ දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.
අගවිනිසුරු මොහාන් පීරිස්, කේ. ශ්‍රී පවන් සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.
පෙත්සම් විභාගයේදී විදුහල්පතිනිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටි අතර ඔහු කියා සිටියේ මවුපියන් කවර ඇඳුමකින් පැමිණියත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් නිල ඇඳුමින් පාසලට පැමිණිය යුතු බවයි. මුස්ලිම් සංස්කෘති ඇඳුමින් (පන්ජාබ්) රාජගිරිය ජනාධිපති බාලිකා විදුහලට පැමිණීමට ඉඩ දුනහොත් එහි නැති කලබල ඇතිවිය හැකි බවයි.
අගවිනිසුරු - පාසල්වල නිල ඇඳුමට පිටින් කිසිවක් බැහැ. ඒක අකුරටම ක්‍රියාත්මක විය යුතුයි.
අනතුරුව මෙම නඩුවේදී ඇතිකර ගත් එකඟත්වය පිළිබඳ සියලුම පාසල් ප්‍රධානීන් දැනුවත් කිරීමටද තීරණය කෙරිණි.
අධිනීතිඥ ඒ. එම්. සුහායිර් මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියේය.
සරත් ධර්මසේන
0 comments:
Post a Comment