ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිවරා ලක් දෙරණේ අස්සක් මුල්ලක් නෑර ගිඟුම් දුන් ඒ ඉමිහිරි සාදු නාදය අපෙන් ඈත් වී දැන් තිස් වසරක් පමණ ගෙවී ගොසිනි. අදත් ඒ හිමියන් ගේ බුදුගුණ වන්දනා කවි මිහිරෙන් ඈත් ව මේ රටේ බෝධි වන්දනාව නොකෙරේ. රැයක් පහන් වන තුරු පහන්සිත් පුබුදුවා කළ ඒ බෝධි වන්දනාව මේ රටේ බෞද්ධයන්ට අමතක නොවන එකම බුද්ධ වන්දනාවයි.
රන්වන් පාටින් දළු ලන බෝධිය
නිල් වන් පාටින් කොළ ලන බෝධිය
ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය
අපිත් වඳිමු ජය සිරි මහ බෝධිය
නිල් වන් පාටින් කොළ ලන බෝධිය
ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය
අපිත් වඳිමු ජය සිරි මහ බෝධිය
ඒ හිමියන් කවරදාවත් මම බුදුවීම් යයි කාටවත් කියා නැත. ලවුඩ්ස්පීකර් සෙට් වලට අහවල් ගණන අවශ්‍යදැයි දායකයන්ට කීවේද නැත. වාහනවලට මෙතරම් ගෙවිය යුතුයැයි කිසිවකුට කීවේ ද නැත. බෞද්ධ වැඩිහිටි භික්ෂූන් වහන්සේ හෝ සමාජ විවේචනය කළේ ද නැත. එහෙත් මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත ගණනින් දිවයිනේ සිව් කොණ පන්සල්වල සමහර විටෙක ක්‍රීඩා පිට්ටනිවල පවා ඒ බුදුමිහිර ඇසීමට රොද බැන්දහ.
පාණදුරේ අරියධම්ම නම් මේ බුද්ධ පුත්‍රයාණන් පිළිබඳ හඳුන්වාදීමක් අටුවා ටීකා ලිවීමත් අවශ්‍ය නොවන්නේ අද සිටින කුඩා දරුවන් පවා ඒ හිමියන් ගේ බෝධි පූජා ගාථා කිසියම් මොහොතක හෝ මුමුණා ඇති නිසාය. ඒ හිමියන් ගේ පුරාවත සමඟ ඔබ නොදන්නා දේ මතු නොව හිමියන් ගේ නෑසියන් ගේ අද කතාව ඔබට ලියමි.
අරියධම්ම හිමියන් අවසාන කාලයේ වැඩ සිටියේ කොළඹ සම්බෝධි විහාරයේය. බෞද්ධයා නාළිකාව විකාශය කරමින් බොදුනු සිත් අකුසලයෙන් මුදවා කුසලයෙහි තබන්නට මහ මෙහෙයක් කරන සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා නාළිකා ප්‍රධානී දරණාගම කුසලධම්ම හිමියෝ ඒ අතීතය මෙසේ මෙනෙහි කළහ.
උන්නාන්සේ ආරම්භ කරපු සම්බෝධි විහාරය අද අරියධම්ම හිමියන් බලාපොරොත්තු වූ ආකාරයට ම විශාල ශාසනික සේවයක් කරනවා. අටවිසි බුද්ධ පූජාව, ශීල සමාදාන කටයුතු උන්වහන්සේ තරම් ජනතාවට කිට්ටුව කළ හිමි නමක් මට මතකයට එන්නෙ නැහැ. ඒ ළයාන්විත හඬින් බුදු ගුණ මාපිය ගුණ වර්ණනා කරන විට බෞද්ධයෝ සැදැහෙන් දෑගිලි බැඳගෙන ඒවා ශ්‍රවණය කළා.
උන්වහන්සේ රට පුරා බෝධි පූජා කටයුතුවලට ගියත් සම්බෝධි විහාරයට නොවරදවා ම එනවා. උන්වහන්සේ ගේ පිළිමයක් අපේ චෛත්‍ය ළඟ තියෙනවා. ඒ හිමියන්ට උදේ හවා අපි බෞද්ධයා නාළිකාවෙන් පින් දෙනවා. ඉතාම ශීලවන්ත ශ්‍රද්ධාවන්ත හිමි නමක්. අවුරුදු 46 ක් වගේ කාලෙකදී උන්වහන්සේ අපවත් වුණා.
මේ ගැන බෞද්ධයන් අතර නොයෙක් කසු කුසු තියෙන බව මාත් දන්නවා. කොටගම වාචිස්සර වගේ හිමිවරුන් ගේ අපවත් වීමත් මෙවැනි කසු කුසු නැඟූ අවස්ථා. උන්වහන්සේ ගේ මරණය ගැන මටත් සැකයි. එහෙත් එක හෙළාම කවුරුන් හෝ වස දුන්නාය කියන මතය පිළිගන්නත් බැහැ. ඒත් සැකයක් තියෙනවා.
ඒ කාලෙ හිටපු නායක ස්වාමින්වහන්සේලා කළුකොඳයාවේ පඤ්ඤාසේකර, කොස්ගොඩ ධම්මාවාස, තලල්ලේ ධම්මානන්ද මඬිහේ පඤ්ඤාසීහ, වජිරාරාම වාසී පියදස්සී නායක හිමි වගේ හැම නායක හාමුදුරු නමක්ම අරියධම්ම හාමුදුරුවන්ගේ බෝධි පූජාව අගය කළා.
ඒ කාලේ උසාවි වාර්තා හෙළිකළ සමහර නීති ක්ෂේත්‍රයේ නිලධාරින් කියා සිටියා හාමුදුරුවන් වැඩියට පස්සේ ඒ ඒ ප්‍රදේශවල අපරාධ, සොරකම්, දූෂණ වැනි දේ අඩු වුණාය කියලා. ඇත්තටම අරියධම්ම හාමුදුරුවෝ සම්බෝධි විහාරයේ මේ ශාසනික නවෝදයේ පුරෝගාමියා කිව්වත් වැරැදි නැහැ.
දරණාගම කුසලධම්ම හිමි |
අරියධම්ම හිමියන්ගේ ගිහි නම ලාල් බුද්ධදාසය. පාණදුර නල්ලුරුව මුහුදු ප්‍රදේශයට මීටර් 500 ක් පමණ දුරින් ඒ ලාල් ගේ මහගෙදර පිහිටියේය. මුලින්ම අප හිමියන් රක්ෂාවක් හැටියට කළේ මහා දානපතියකු වූ ඇල්බට් එදිරිසිංහ මහතා යටතේ එම ආයතනයේ ලිපිකරුවකු ලෙසිනි.
ලිපිකරුවකු වුවද ලාල් බුද්ධදාස නම් මේ තරුණයාට බොහෝ විට පැවරුණේ බෞද්ධ කටයුතු ය. මුලින් ම මේ තරුණයා සෝමාවතිය පිළිසකර කිරීමකට කටයුතු කළ ආකාරය දැක එදිරිසිංහ මහතා ඔහු එම කටයුතු සඳහාම පසුව යොදාගත් බව කියයි. ඇල්බට් එදිරිසිංහ මහතා ගේ පුත් රුවනක් වන ජනක එදිරිසිංහ අප හිමියන් ගැන මෙසේ කීය.
“අපේ හාමුදුරුවෝ බොහෝම පින්වන්තයි. සසුන්ගත වන්නට පෙරත් කළේ ම සමාජ කටයුතු. අපේ තාත්තා හරිම ආදරෙයි. හාමුදුරුවන් රට පුරා බෝධි පූජා කටයුතු කරන්ඩ ගියාට උන්වහන්සේ ඒවායෙන් අමුතු දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ.
අරිය ධම්ම හාමුදුරුවන් හමුවන්නට අමුතු දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. අරිය ධම්ම හාමුදුරුවන් හමුවන්නට ප්‍රේමදාස මහත්තයා නිතර එනවා. රාත්‍රියට තනියම ජීප් රථයක් පදවාගෙන තමයි එතුමා එන්නේ. එතකොට ප්‍රේමදාස මහත්තයා රටේ අගමැති.
කොළඹ සම්බෝධි විහාරය සහිත ඉඩම අයිතිව තිබුණේ සුචරිත ව්‍යාපාරයට. මේ ඉඩම පිළිබඳ ප්‍රශ්න මතුවෙන කොට ප්‍රේමදාස මහත්තයා එක පෑන් පහරින් අස්සන තබලා ඒ ඉඩම අරිය ධම්ම හාමුදුරුවන්ට පැවරුවා. ඒ වෙලාවෙදිත් මම එතන හිටියා. ඇත්තට ම මේ රටේ නියම බෝධි පූජාවේ නිර්මාතෘ උන්වහන්සේ විතරයි. ඒ ළයාන්විත ගැයුම අදටත් අපට අහන්න නැහැ.
බුදුරදුන් වෙනුවෙන් වසර 40 ක් තිස්සේ නොකඩවා ම සේවය කළ අනඳ මහා හිමියන් මෙන් මේ හිමි සෙවණේ දිගු කාලයක් උන්වහන්සේ වෙනුවෙන් කැප වූ ශ්‍රේෂ්ඨ බෞද්ධයන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් හොරණ ප්‍රසිද්ධ ව්‍යාපාරික කොළඹ කොල්ලුපිටියේ එළිසබත් ස්වර්ණාභරණ සාප්පුව හිමි නිහාල් කළුආරච්චිය.
අනෙක් වැදගත්ම කෙනා පිටකෝට්ටේ “තායි” සුමේධා හදුන්කූරු ආයතනය හිමි සුමේධ ඇල්පිටියය. පාඨක ඔබේ වාසනාවට සුමේධ මහතා ඇමෙරිකාවේ සිට මෙහි පැමිණ සිටියේය. සුමේධ ඇල්පිටිය මා අබිමුව සිට බොහෝ දේ කීවේ මහත් සංවේගයකින් යුතුවය. අරියධම්ම හිමියන් ගේ දුර්ලභ ඡායාරූප කැසට් පට බෝධි පූජාමය අවස්ථා සහිත සංගත තැටි ඔහු සතුව තිබේ. ඔහු අරියධම්ම හිමියන්ගේ තොරතුරු පිළිබඳ කෝෂ්ඨාගාරයක් වැන්න.
“මට අපේ හාමුදුරුවන් හමුවන්නේ 1976 කොටහේනේ පරමානන්ද පුරාණ විහාරයේ පින්කමකදී. හරියටම එදා දිනයත් මතකයි දෙසැම්බර් 21 උන්වහන්සේ වැඩියේ හාමුදුරුවෝ වැඩියෙන් ම ආදරය කරන වැඩිහිටි හිමි නමක් එක්ක. හරිම වයසයි. වයස අවුරුදු 94 ක්. මං දුවලා ගිහින් අර වයසක හාමුදුරුවෝ වත්තම් කරගෙන පින්කම් පොළට වැඩමෙව්වා. කාරයෙන් අර හිමියන් ගන්න වෙලාවේ ඉඳන් හාමුදුරුවෝ මගේ දිහා ඉතාම විමසිල්ලන් බලන බව තේරුණා.
උන්වහන්සේ මට කතා කළා. ඔබ බොහොම හොඳ පින්කමක් කළේ. මේ වගේ තරුණයෝ රටට අවශ්‍යයයි. කිව්වා. මට එතකොට අවුරුදු 17 ක් විතර ඇති. හාමුදුරුවෝ හිතවත් වුණේ ඒ විදිහටයි. මං හාමුදුරුවන්ගේ හැම පින්කමකට ම රට පුරා යන්නත් ගත්තා. අපේ හාමුදුරුවෝ ඉපදිලා තියෙන්නේ 1940. අපවත් වුණේ 1986 මැයි 23 එතකොට උන්වහන්සේට වයස 46 යි. මුලින්ම උන්වහන්සේ පැවිදිවෙලා තියෙන්නේ නල්ලුරුවේ අත්ථ කුසල නමින්.
රාජගිරිය ගෝතම තපෝ වනයේ දී පසුකාලයක කුඩාවැල්ලේ වංගීස හාමුදුරුවන් යටතේ පාණදුරේ අරියධම්ම නමින් නැවත පැවිදි වුණා. මුල් කාලෙ පැවිද්දෙක් උපැවිදි නොවී නැවත පැවිදි වීමක් සිද්ධ වුණේ. හාමුදුරුවන්ට අවශ්‍ය වුණේ පන්සලට වෙලා ඉන්ඩ නොවේ. ගමින් ගමට ගිහින් ධර්ම ප්‍රචාර කටයුතු කරන්න. ඒ හින්දා කලින් පැවිද්දෙන් ඈත්ව නැවත පැවිදි වුණේ. පැවිද්ද අත්හැරලා කාලයක් ගිටියෙත් නෑ. ඒ අවස්ථාව ලබාගන්ඩ පුළුවන් තැනකටයි වැඩම කළේ.
සුමේධ ඇල්පිටිය |
උන්වහන්සේ මහණ වුණේ 1966 දෙසැම්බර් 21 දවසක බව මට කීවා. සාමාන්‍යයෙන් හාමුදුරුවෝ දුර බැහැර බෝධි පූජා කටයුතුවලට වඩිනකොට පළමුවෙන් ම කරන්නේ ඒ පළාතේ සියලු ම වැඩිහිටි භික්ෂූන් වහන්සේ බැහැ දකින එක. ඒ සංඝරත්නය නමස්කාර කරලා පින්කම පටන්ගන්නේ. පින්කම අවසානයේ ලැබෙන සිවුරු, පිරිකර මේ හැමදේ ම ඒ පළාතේ ම භික්ෂුන් වහන්සේලාට බෙදලා අරියධම්ම හිමියන් නැවත වඩින්නේ. ඕනෑනම් අර ලැබෙන දේවල්වලින් බිස්කට් එකක් වළඳලා ඇති. ඊට වඩා දෙයක් ගෙනෙන්නෙ නෑ.
ඔබතුමා හාමුදුරුවන් සම්බන්ධ අසිරිමත් අප්‍රකට සිදුවීම් අහනවා. කවුරුවත් නොදන්නා සිදුවීම් කීපයක් මා දන්නවා. එක දවසක් අපි හිඟුරක්ගොඩ මහසෙන් මන්දිරයේ - අටවිසි බුද්ධ පූජා පින්කමක් සංවිධානය කළා. එතනදී හාමුදුරුවන් වේදිකාවට වැඩමවන්නට පෙර උපාසිකාවෝ පුදුමාකාර වැඩක් කළා. ඒ උපාසිකාවන් සතුව දිගු මොනරපිල් වගේ කේෂ කලාප තිබුණා.
ඔවුන් හිමි වඩින මඟ දෙපස හිස පහතට නමා කේෂ කලාපය ඉදිරිපසට විහිදෙව්වා. ඉදිරිපසිනුත් එහෙමයි. මැදින් සුදු පාවාඩයක් එළා තිබුණා. මේ උපාසිකාවන් සියයක් පමණ මීටර් දෙසීයක් පමණ දුරට තම දිගු වරලස විහිදා සිටීම අපූරුම දර්ශනයක් මැව්වා. සුදු පාවාඩය මැද්දෙන් හරියට කළු පීත්ත පටියක් එළුවා වගෙයි. මේ විහිදුණේ ඔවුන්ගේ අප්‍රමාණ භක්තිය.
ඒ විතරක් නෙමෙයි ඒ අය සංඝරත්නයේ ගුණ වර්ණනා කරන “සුපටි පන්නෝ භගවතෝ” “උජුපටි පන්නෝ භගවතෝ” ගාථාව ඒ විදිහට ඉඳගෙන තාලයට කියන්ඩත් ගත්තා. හාමුදුරුවෝ වික්ෂිප්තව තත්පර ගණනක් හිටියා. උන්වහන්සේ ඒ විදිහට මණ්ඩපයට වඩින්නට මැළිකමක් දැක්වූවා වගෙයි.
බුදුරජාණන් වහන්සේගෙන් මහා ප්‍රජාපතී ගෝතමිය මෙහෙණි සස්න ඉල්ලා බැගෑපත් වූවාක් මෙන් ඒ උපාසිකාවන් තම දිගු වරලස උඩින් වඩින්නට යැයි උන්වහන්සේගෙන් දිගින් දිගට ම ඉල්ලා සිටියා. අපේ හාමුදුරුවෝ ඒ අයට අනුකම්පාවෙන් ඒ වරලස උඩින් එදා මණ්ඩපයට වැඩියේ රැස්ව සිටියවුන්ගේ මහා සාදු නදිය මැද්දේ.
සාමාන්‍යයෙන් අපේ හාමුදුරුවෝ බෝධි පූජා පින්කම්වලට ගියහ ම ඒ පළාතේ දේශපාලකයන් මණ්ඩපයට එනවට කැමති නැහැ. ඒ පින්කම දේශපාලන මුහුණු වරක් ගන්නා නිසයි. උන්වහන්සේ කැඳව ගත්තේ දිසාපතිතුමා, පොලිසියේ ලොකු මහත්තයා රජයේ ආයතනවල නිලධාරින් වගේ අය විතරයි. බෝධි පූජාව පටන් ගත්තට පස්සේ උන්වහන්සේ හැරි ඉන්නේ බුදු පිළිමය පැත්තට විතරයි. පනස් දහස් ගණන් ජනතාව රොද බැන්දත් කිසිම ශබ්දයක් නැහැ.
අනගාරික නාරද තුමා |
එක දවසක් අම්බලන්තොට පැත්තේ විශාල පින්කමකට යද්දී රෑ වෙන්න තව වෙලාව තියෙන හින්දා අපේ හාමුදුරුවෝ යෝජනා කළා අපි බූන්දල ජාතික වන උද්‍යානයටත් පොඩ්ඩක් ගොඩවලා යමු කියලා. හාමුදුරුවන් කිසිම දෙයක් බාරගන්නැති හින්දා ඩී.ආර්. දිසානායක හාමු මහත්තයා පින්කම් වලට වඩින්න එල් 300 වර්ගයේ වෑන් රථයක් අප හිමියන්ට පූජා කර තිබුණා. රියදුරාට වෙනම සල්ලි දෙනවා තෙල් ගහන්න. එදා අපි ගියේ ඒ වාහනයෙන්.
හාමුදුරුවෝ වැඩ උන්නේ වාහනයේ ඉදිරිපස ආසනයේ. මං හිටියේ පිටිපස්සේ. තවත් කීප දෙනෙක් හිටියා. එදා හිටිය බූන්දල ජාතික වනෝද්‍යාන භාරකරු හාමුදුරුවන්ට වැඳලා වනජීවි නියාමකයකුත් දීලා සිතියමකුත් පෙන්නුවා. අපේ හාමුදුරුවනේ මේ ඕන තැනක වඩින්න. හැබැයි! මේ පැත්තට නම් වඩින්න එපා මහා භයානක ඇතෙක් ඉන්නවා ඊයේ පෙරේදත් වාහන දෙකකට ගැහුවා කියලා සිතියම ලකුණු කර පැහැදිලි කරලත් දුන්නා.
එහෙත් ගහකොළ සතා සීපාවා කෙරෙහි ළෙන්ගතු අප පිරිසට මේක අමතක වුණා. වන ජීප් නියාමකත් මා ළඟමයි. එයාටත් අර සිද්ධිය මොහොතකට අමතක වන්න ඇති. අපි සොයා බලනකොට අඩ හෝරාවකට පමණ පසු වැරදීමකින් අප ඇවිත් තිබුණේ අර චණ්ඩ ඇතා ඉන්න ප්‍රදේශයටමයි. යන පාරේ ඉඩ තිබුණෙත් වාහනයටම විතරයි. වාහනය අයින් කරන්නවත් හරව ගන්නවත් ඉඩක් නැහැ. අපි ඉන්නේ අනතුරුදායක තැන කියලා කට්ටිය කතා වුණා විතරයි මෙන්න! අර දළ ඇති මහා ඇතා අපේ පෙරමඟට එනවා.
උගේ දර්ශනය බියකරුයි. හොඩය නවලා මහා හඬින් කුංච නාද කළා. අසුරු සැණින් අපේ වාහනය අසලට ම ආවා. කට්ටිය කලබල වුණා බැහැලා දුවන්න වගේ. හාමුදුරුවෝ කිව්වා කලබල වෙන්න එපා ඒ උපාසක ඇත්තන්ගෙන් අපට කරදර වෙන්නෙ නැහැ කියලා උන්වහන්සේ විනාඩි ගණනක් ඇතා දිහා බලාගෙන මොන මොනවාදෝ හිතින් මිමිණුවා. මා හිතන්නේ නාලාගිරියා බුදුන් ඉදිරියට පැමිණි වෙලාවේ කියූ ගාථා පද වෙන්න ඇති.
ඇතා සොඬයෙන් හාමුදුරුවන්ට ආචාර කළා වගේ ආයෙත් හොඩය ඔසවා හඬක් නැඟුවා. ඔසවාගත් හොඬය එසේම තබාගෙන පටු පාරේ මුල්ලකට වුණා. වාහනය යන්න තියන්නෙත් ඒ ඉඩ ඩිංගෙන් විතරයි. හාමුදුරුවො වාහනය පණ ගන්වන ලෙස රියදුරාට අතින් සන් කළා. අපි එතනින් නික්ම යන කොටත් ඇතා සුපුරුදු ආචාරයේම හිටියා. මං මේවා සියැසින් දුටු සිද්ධි. මේ හාමුදුරුවන්ට පුදුමාකාර බලයක් තිබුණා.
තවත් දවසක් අපි බදුල්ලට යනවා. බෙලිහුල්ඔය හරියට කිට්ටු වෙනකොට දහවල් 11.15 යි. උන්වහන්සේ දහවල් 12 න් පස්සෙ මොනම දෙයක්වත් වළඳන්නෙ නෑ. ඒක අප දන්නවා. අද දානය වරදින බව උන්වහන්සේටත් තේරුණා. අපත් මතක් කළා හාමුදුරුවනේ අපි මේ කොහෙන් හරි දානේ සකස් කරන්නම් කියලා. ඒ හරියෙ තියෙන බෙලිහුල්ඔය රෙස්ට් එකට වඩින්න අප ආරාධනා කළා. අනේ මට බැහැ. කවුරුන් හරි කියාවි මං රෙස්ට් හවුසියට වැඩලා දානෙ ගන්නෙ කියලා.
උන්වහන්සෙ එසේ කීවා. මං ඒ ළඟ වාහනය නතර කරලා රෙස්ට් එක ඇතුළට ගියා. මා කීවා ඒ කළමනාකාරිත්වයට කාරණය පැහැදිලි කරලා. ඒ මහත්වරුත් ගොඩක් කැමැති වුණා. ඒත් අරියධම්ම හාමුදුරුවන්ට දානෙ කියලා දන්නෙ නෑ. උන්වහන්සේගෙ පාත්තරයට දානය බෙදනකොට අනේ ඒක තහඩු නිසා මගේ අත් දෙක පිච්චුණා. ළිපෙන් බාන ගමන් රස්නෙන් එළවළු වෑංජන බත් ඔක්කොම බෙදන්නෙ. මං පාත්තරය අත් හැරියෙ නෑ.
ජනක එදිරිසිංහ |
අත් දෙක පිච්චිලා අඟුරු වුණත් කමක් නෑ කියලා හිතලා. සල්ලි ගෙව්වාට ඒ අය ගත්තෙත් නෑ. දානය ගෙනැවිත් හාමුදුරුවන්ට පූජා කරලා ඒ අය සල්ලි නොගත් බව කීවාම උන්වහන්සේ ඒ කළමනාකාරිත්වය වත්තට එක්කාන එන්ඩ කියලා බණක් දේශනා කළා. ඒ අයට කඳුළු වැටුණා මේ අරියධම්ම හාමුදුරුවො කියලා දැනගත්තම. ඊළඟට හාමුදුරුවො මට කතා කරලා මගේ අත් දෙක පෙන්නන්ඩ කිව්වා. අත්වල අල්ලෙ දියපට්ට නැඟලා රස්නෙට. උන්වහන්සෙ මගේ අත් දෙකට තෙල් වර්ගයක් ගාලා අත ගෑවා.
උන්වහන්සේට කුමක් හෝ අනාගතය පෙනෙන තත්ත්වයකුත් තිබුණා. දවසක් තේමිස් රියැදුරු මහත්මයා සමඟ අපි රත්නපුර පැත්තෙ පින්කමකට යනවා. පාණදුරෙන් හැරවූවා විතරයි හාමුදුරුවො කිව්වා, අපි ගෙදරට ගිහින් එමු ද! එහෙ තාත්තත් කරදරෙන් ඉන්නෙ කියලා. ඒ මොහොතෙම අපි නල්ලුරුවට ගියා. යනකොට හාමුදුරුවන්ගේ තාත්තා අසනීපයෙන්.
පපුවෙ අමාරුවක් හැදිලා දොස්තර ළඟට එක්කන් යන්ඩ ගෙදර අය සූදානම් වෙනවා. මං ගිහින් තාත්තව එක්කගෙන එන්ඩ හදනකොට එතුමා කීවා, මට පුතේ මිනිත්තුවක් ඇලවෙන්ඩ දෙන්න කියලා. පිළිගන්ඩ! ඇලවුණා විතරයි පණ ගියා. ඒ මෑණියොත් ඊට මාස 6 කට පස්සෙ නැතිවුණා. මාපිය ගුණ වර්ණනාවට අපේ හාමුදුරුවො තවත් දක්ෂයි. ඒ කටයුතුවලදී දෙනෝ දහක් හාමුදුරුවන්ගේ බණ අහලා ඇඬුවා.
හාමුදුරුවන්ට කවුරුවත් වස දුන්නේ නැහැ. උන්වහන්සේට පෙර දැක්මක් තිබුණා. එදා උන්වහන්සේ නිල් අරඹ ගලහ භාවනා මධ්‍යස්ථානයට වඩින්න පෙර තමන්ගේ පොත් පත් ඇඳ, කබඩය මේවා සියල්ලම අහවල් අහවල් හාමුදුරුවන්ට දෙන්ඩ කියලා තමයි වැඩම කරලා තිබුණේ. හාමුදුරුවන්ට සෙම අමාරුව තිබුණා. දෙපාරක් හාට් ඇටෑක් හැදුණා. පී. ආර්. ඇන්තනීස් වෛද්‍ය තුමා ප්‍රතිකාර කළා. එදා ගලහ ඉඳන් හාමුදුරුවන්ව ගෙනල්ල තිබුණේ පේරාදෙණිය රෝහලට. අරියධම්ම හාමුදුරුවෝ කියලා දැනගත්තම දොස්තර මහත්තුරු ඇඳ වටේ පිරිල තියෙනවා.
කෘත්‍රීම ස්වසනය දෙන්න ගිහින් තමයි අර තොල්පට තුවාල වෙලා වගේ තිබුණේ. මිනිස්සු ඒ හින්ද තමයි අර වස දුන් කතාව හැදුවේ. මට හිතෙන්නේ අපේ හාමුදුරුවෝ තව්තිසාවේ දිව්‍ය පුත්‍රයෙක් තව්තිසාවේ එක් දවසක් මනුෂ්‍ය ලෝකෙන් අවුරුදු සීයයි. හාමුදුරුවෝ ජීවත් වුණේ. අවුරුදු 46 යි. මා හිතන්නේ ඒ දිව්‍ය පුත්‍රයා මිනිසුන්ට බුදු මඟ කියා දෙන්න මෙහි වරුවකට වැඩිය කියලයි. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ අපේ හාමුදුරුවන්ට හරිම ආදරෙයි.
උන්වහන්සේ ඉන්දියාවේදී අපේ හාමුදුරුවෝ ගැන නාඩි වාක්‍ය බලා තිබෙනවා. ඒ වෙලාවේ දැනගන්න ලැබුණලු. මීට කලිනුත් උන්වහන්සේ ලංකාවේ ඉපදිලා අඩු වයසින් මියගියා කියලා. ඒ ආත්ම භාවය වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා කියලයි බළන්ගොඩ හිමියන් කියන්නේ. එතුමාත් ගමින් ගමනට බණ කියමින් ගිහින් අවුරුදු 36 දී මැරුණා. නාහිමියන් කියා තියෙනවා ඉක්මනට තමන්ගේ සේවය කරන්න වැඩි කල් ජීවත් වෙන්නෙ නැහැ කියලා.
කරු ජයසූරිය මහත්තයත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. මැකි එන්ටර්ප්‍රයිසස් එකේ අධ්‍යක්ෂ වරයෙක් හැටියට ඉන්න කාලේ අපේ හාමුදුරුවන්ගේ ළඟම හිතවත් දායක මහත්තයෙක්. මරදන්කඩවල අක්කර දහයක පමණ භූමියක් නිකාඩෝ සමාගමේ අධිපතින් අපේ හාමුදුරුවන්ට පූජා කළා. අද ඒකෙ ආරණ්‍යයක් තියෙනවා. ඒකෙ මුල් ගොඩනැඟිල්ල හැදුවේ යටියන වෙද මහත්තයා. රත්නපුරේ පින්කමකදී මට මතකයි ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිවරු තුන් දෙනාම ඒ පින්කමට ආවා.
බදුල්ලේ මුතියංගණ විහාරයේ පවත්වන බෝධි පූජාවකට පෙර දවසේ හාමුදුරුවන්ට කතා කරන්න බැරි වුණා හැමදේම කිව්වේ ලියලා. නැතිනම් අතින් පයින්. අපි හිතුවා බෝධි පූජා වැඩ ඉවරයි කියලා. ඒත් හාමුදුරුවෝ මුතියංගණ විහාරයේ බුදුගෙට වැඩලා සත්‍යක්‍රියා කළා. තමන්ට මේ බෝධි පූජාව කරන්න අවසර ලබා දෙන්න දෙවියනේ කියලා. පුදුමය හාමුදුරුවෝ බෝධි පූජාවට පෙර හොඳට කතා කළා. බෝධි පූජාවත් හොඳටම කළා.
පස්සේ අපට දැනගන්න ලැබුණා අසල්වැසි හිමිනමක් හාමුදුරුවන්ට දිවගුරු බන්ධනය කර තිබුණැයි කියලා. අපේ හාමුදුරුවෝ කැලණියේදී විභීෂණ දෙවියෝ ඇසින් දුටු අයෙක්. පාන්දර පහට බෝධි පූජාවක් හුදකලාව කරන විට විභීෂණ දෙවියෝ ඔය පෙනෙන රූපයෙන් (තලප්පාවක් හිසේ බැඳ රජවරු අඳින හැට්ටයක් වැනි ඇඳුමක් ඇඳ පහළට වේට්ටියක් හා පාදවලට කලිසමක් වැන්නක් ඇඳ) ඇවිත් තිබෙනවා. උන්නාන්සේ අතෙත් මල් වට්ටියක් තිබුණලු.
සුමේධ ඇල්පිටිය මහතා අප හාමුදුරුවන් පිළිබඳව මහා අත්පොතකි. එනිසා තවත් දේ ගවේෂණය කිරීමට අපි ඔහුට විරාමය තබමු. අනතුරුව අප ගමන් ගත්තේ හාමුදුරුවන්ගේ ගිහි කාලයේ මහ ගෙදර දෙසටය. මානෙල් සිල්වා, ලලනි හේරත්, සුවිනිතා ගලබඩගේ ඒ හිමියන්ගේ දිවමන් සොයුරියෝ වෙති. අන් කිසිවෙක් දැන් ජීවතුන් අතර නොමැත. ඔවුහු ඡායාරූප ගන්නට එපා යයි අපෙන් ළෙන්ගතුව ඉල්ලූහ. හාමුදුරුවන්ගෙන් ප්‍රසිද්ධියක් ලබා ගැනීම නරක කරුණකැයි ඔවුහු අදහති. මානෙල් සිල්වා මහජන බැංකුවේ විශ්‍රාමික කළමනාකාරිනියකි. පාණදුර මහජන බැංකු ශාඛාවේ ද ඇය කලක් සේවය කළාය. ඔවුහු සියලු දෙනා කී යමක් පමණක් පිඬු කොට දක්වමි.
අපේ අයියා ලාල් බුද්ධදාස. ගිහි කාලෙ පටන් එයා සාමකාමියි. ධර්මයට හරිම ළැදියි. සමාජ කටයුතුවලට කැමැතියි. අපේ ගෙදර ඉඳන් මුහුදු වෙරළට යාර 500 ක් වත් නැහැ. අයියා වැල්ල ළඟට ගිහින් මහා හයියෙන් ලෝවැඩ සඟරාව වැනි පොත්වල කවි කියවනවා අපිට ඇහිල තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේට ඕනෑම පිරිසක් මයික්‍රෆෝනයක් නැතිව වුවත් අමතන්න පුළුවන්. වැල්ලේ ඝෝෂාවට ඉහළින් කවි පද ඇහෙන්න හඬ නඟා කියලා ඇතිකර ගත්ත පුරුද්දක්.
හාමුදුරුවො වුණාට රට පුරා ඒ සාධු නාදය පැතිරෙනකොට අපිත් අපේ අම්මත් තාත්තාත් හරියට සතුටු වුණා. උන්නාන්සේ අපවත් වුණාට අප කලබල නොවන විදියට අපට බණ කියලා තිබුණෙ. හාමුදුරුවන්ට කවුරුවත් වස දුන්නෙ නෑ. ඒ කතා බොරු. උන්වහන්සේට හෘදයාබාධයක් තිබුණා. ඒක දෙවතාවක් කලින් හැදිලා තිබුණෙ හාමුදුරුවන්ට අයිති දේ සොය සොයා අපි පන්සල් ගානෙ ගියේ නෑ. අන්තිමට උන්වහන්සේට අන්දන්න සිවුරු ගෙනෙන්ඩ සිද්ධ වුණා.
අවසන් කාලෙත් පාවිච්චි කරලා තිබුණෙ එක සිවුරක්. නිදාගත්තෙ ලෑලි ඇඳක. හරිහැටි ඇඳ ඇතිරිල්ලක්වත් උන්වහන්සේ පාවිච්චි කරලා නෑ. ලැබුණු පිරිකර සියල්ල දන් දීලා උන්වහන්සේ එන්නෙ. අප ලබා ගත් දෙයක්වත්, අපට දුන් දෙයක්වත් නෑ. අපේ හාමුදුරුවො ගැන අපි පින් පෙත් දෙනවා. බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවො වැඩමවලා අප ගියවර පින්කම කළා.
මීගමුවෙ කටුවැල්ලේගම විහාරයට වැඩම කළාම පාදිලි උන්නාන්සේලා වට වෙලා කතා කරනවා. උන්වහන්සේ හැම ආගමකටම ගරු කළා. ඒ නිසයි ෆාදර්ලා පවා ඒ පින්කම්වලට එන්නෙ. අපේ තාත්ත උසාවි ලිපිකරුවෙක්. එතුමාත් එහෙම කෙනෙක්. හාමුදුරුවන් ගිහි කාලෙදිත් ඔය වගේම උත්තම ගතිගුණ තිබුණා.
අප හිමියන් කියු රසවත් මිහිරි බණ පද කවි ලියුවේ බොහොමයක් උන්වහන්සේම බව කියතත් ඒ සමහර ප්‍රබන්ධ කළේ අනගාරික නාරද නම් හිමිනමක් බව හොරණ ප්‍රදේශවාසීහු කියති. ඒ නිසා අදත් දිවමන් ඒ හිමියන් සොයා අපි හොරණ සව්ගස් හන්දිය පැත්තේ අරණකට ගියෙමු. වයෝවෘද්ධ අනූ හය වියැති උන්වහන්සේ අමාරුවෙන් අප හා කතා කළේය. මතකය ද ගිලිහී ගොසිනි.
සොයා ගත් හා උන්වහන්සේ දෙසු කරුණු අනුව ඒ හිමියන් ගිහි කාලයේ සිටියේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේය. දරුවන් දෙදෙනෙක් ද සිටි ඒ ගිහියා දංගල්ලේ රාජ් කුමාර් නමින් එදා පත්තරවලට ද කවි ලීවේය. ඊළඟට සිරිපා හිමේ බෑණ සමනළ අඩවියේ වසර 12 ක් බණ භාවනා කළේය. අනතුරුව මහණව උපසම්පදාව ලැබ හොරණට වැඩියේය. ඒ හිමියන් අප හිමියන්ට ලියු කවියක් අපහසුවෙන් මෙසේ මතක් කරයි.
සසරේ දඩයමදි ගෙවුණා දිවි මාරුව
හැමදාමත් විඳිනවා නැත හිතයට මාරුව
රැස් කළ පින් බලයෙන් සිත මේරුව
හෙමිහිට එගොඩට යන්නකො පාරුව
හැමදාමත් විඳිනවා නැත හිතයට මාරුව
රැස් කළ පින් බලයෙන් සිත මේරුව
හෙමිහිට එගොඩට යන්නකො පාරුව
උන්වහන්සේ මුමුණන මේ කවි පද තරමක් අපැහැදිලි වන්නට පුළුවන. මේ අප ඇසු හැටිය. පාරුව යන්නෙන් උන්වහන්සේ අදහස් කළේ සසර දුකින් එගොඩ වන දහම් පාරුව යන්න විය යුතුය.
උපාලි සමරසිංහ
ඡායා - දුෂ්මන්ත මායාදුන්න
0 comments:
Post a Comment