යුද්ධයෙන් පසු සියලු දෙනා මවිත කරවිය හැකි රාජ්‍යයක් වන්නට ශ්‍රී ලංකාවට ඉඩ තිබුණු නමුත් ශ්‍රී ලංකාව ඒකාධිපතිත්වය දෙසට ගමන් කරන ලකුණු වැඩි වශයෙන් දක්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ප්‍රකාශ කළාය.
පිල්ලේ එසේ පැවැසුවේ සෙනසුරාදා (31දා) කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. යුද අපරාධ පිළිබඳ නැඟෙන චෝදනාවලට එරෙහිව ස්වාධීන හා අපක්‍ෂපාත පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජයට හැකි වේදැයිමතුකළ ප්‍රශ්නයකට එම පිළිතුර දුන් එ.ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය පැවැසුවේ එවැනි ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජයට හැකි යැයි තමන් විශ්වාස කළත් එවැනි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ස්වාධීන හා අපක්‍ෂපාත පරීක්‍ෂණයක් සඳහා ජාත්‍යන්තර වශයෙන් කෙරෙන ඉල්ලීම් දිගටම සිදුවිය හැකි බවයි.
මුලතිව් ප්‍රදේශයේ දෙමළ ජනතාව තමන් හමු වූ බවත්, එසේ හමුවීමට ප්‍රථම හා පසුව ප්‍රදේශයේ පොලිසිය විසින් එම ජනතාවගෙන් ප්‍රශ්න කර ඇති බවත්, ත්‍රිකුණාමලයේදීත් එවැනිම සිද්ධියක් සිදුව තිබෙන බවත් තමන් හමුවූ පූජකයන් දෙදෙනෙක්, මානව හිමිකම් ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් හා තවත් කීපදෙනෙක්ගෙන් පොලිසිය මෙසේ ප්‍රශ්න කර ඇති බවත් ඇය මාධ්‍ය හමුවේ හෙළි කළාය.
මෙවැනි ආකාරයේ විමර්ශනයක් හා හිරිහැර කිරීම් ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින බවත්, බියගැන්වීම් සහ නොයෙක් ආකාරයේ බලපෑම් මත ස්වයං වාරණයක් පනවා ගැනීමට මාධ්‍යවේදීන් හට සිදුව ඇති බවත් සඳහන් කර ඇති පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට සීමා පැනවී ඇති බවත්, සාෆ් කලාපයේ සෙසු සහෝදර රටවල මෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන නීතිය ශ්‍රී ලංකාවට හඳුන්වාදිය යුතු බවත් පැවැසුවාය. විවේචනාත්මක මත පළ කරන අයට නිරතුරුවම ප්‍රහාර එල්ල වන හා සදහටම අතුරුදන් කෙරෙන රටක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය අයහපත් බව සඳහන් කළ ඇය තම සංචාරයේදී සිදුවූ මෙවන් දේ පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කර සිටින බවත් කීවාය. අන්‍යාගමිකයන් හා ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව සිදුවන ප්‍රහාර පිළිබඳව පිල්ලේ මහත්මියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කර ඇත්තේ මෙවන් සිද්ධි පිළිබඳව බොහෝ සාක්‍ෂි තමන් සතුව තිබෙන නමුත් එම සිද්ධීන් හුදෙකලා සාක්‍ෂි නොමැති ඒවා ලෙස රජය හඳුන්වා ඇති බවයි.
0 comments:
Post a Comment