728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 29 September 2013

පුද්ගලික ජීවිතයේ රසමුසු තැන් හෙළි කරන මහාචාර්ය සුනිල් ආරියරත්න...

පිළියන්දළ මඩපාත කහ‍පොළ බොල්ගොඩ වැව අසල පිහිටි මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “ආරණ්‍යවාසය”ට අප ගියේ එතුමා ලියූ 55වන කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස නිකුත්ව ඇති මොහොතකය.

“දෙමළ මහදැනමුත්තා නොහොත් “පරමාර්ථ ගුරු” හා “දෙමළ නිසොල්ලාසය” නොහොත් මදනකාම රාජකතා” යන මහාචාර්යතුමාගේ 54 වැනි හා 55 වැනි කෘතීන් දෙක පරිශීලනය කිරීමෙන් සිංහල ජන සංස්කෘතිය සහ දෙමළ ජන සංස්කෘතිය අනේ‍යා්න්‍ය වශයෙන් කෙතරම් සම්මිශ්‍රණය වී ඇත්දැයි දැක ගන්නට පුළුවන. මක්නිසාද යත්, මේ දෙමළ ජනකතාවලට සමාන කතා, චරිත, සිද්ධි හා අවස්ථා රාශියක් සිංහල ජනකතා අතරද අපට හමුවන බැවිනි. තනිකඩ ජීවිතයක් ගත කරන මහාචාර්යවරයා ආරණ්‍යාවාසයේ නිදාගන්නා තනි යහන දුටු විට මගේ මතකයට ආවේ. වසර 32කට එපිට 1981 දී ලියූ “තනි යහනේදී” නම් ගුවන් විදුලි සහ චිත්‍රපට ගීත පදමාලා කෘතියේ එන “හුදෙකලාව”නම් ගේය පද රචනාවය. කොහේදෝ තැනක හිත ගුලිවී නිදන්නේ කවුදෝ එතැන ඉඳගෙන අර බලන්නේ උණුසුම් රැයේ සීතල ගත සැලෙන්නේ පුර හඳ පෑවුවත් කළුවර දැනෙන්නේ මහන්සියෙනි මුව හසරැළි නඟන්නේ කාන්සියට හද පෑරී අඬන්නේ බොඳ වූ සිහින රෑ තුන්යම මැවෙන්නේ කවුදෝ නිබඳ මට බොඳ වී පෙනෙන්නේ සුවඳ දිදී මල් පූදින වෙලාවට කාගේදෝ තව සුවඳක් දැනේ මට සිනා කවට තෙපුලින් පිරි සැඳෑවට දෙනෝදහක් මැද තනිකම දැනේ මට තනිකඩ ජීවිතය ගැන මහාචාර්යවරයාගෙන් ඇසීමට හොඳම වේලාව යැයි අපට සිතුණි. “මට ප්‍රේම සම්බන්ධතා ගොඩාක් තිබුණා. මගේ ප්‍රථම ප්‍රේම සම්බන්ධතාව ඇති වුණේ විදේ‍යා්දය විශ්වවිද්‍යාලයේ අවසාන වසරේදී. ඇය මා සමග සරසවියේ ඉගෙනගත් ශිෂ්‍යාවක්. එම සම්බන්ධතාව බිඳීගිය පසු විවිධ හැලහැප්පීම් මැද මේ දක්වා සම්බන්ධතා ඇතිවී, නැතිවී, සිද්ධ වෙමින් පවතිනවා. මේ නිසා මට අත්දැකීම් රැසක් තිබෙනවා. ඇතැම් අත්දැකීම් නිර්මාණවලටත් පසුබිම් වී තිබෙනවා. “ හුදෙකලාව“ කියන තේමාව යටතේ මම එකම එක ගීතයයි ලියල තියෙන්නේ. ඒ ගීතය ගැයුවේ සෝමතිලක ජයමහ. තනුව හා සංගීතය උපාලි ද සිල්වා. නමුත් මේ ගීතය ජනප්‍රිය වුණේ නැහැ.මහාචාර්ය ආරියරත්න මේ වනවිට ගීත 1000ක් පමණ ලියා ඇතත් “හුදෙකලාව” ගැන ලියුවත් තමාට දැන් නම් හුදෙකලාව නොදැනෙන බව ස්ථිරවම කියා සිටියේය. මහාචාර්ය ආරියරත්න නිර්මාණකාර්යය සඳහා කලල බිජය ලැබුණු ආකාරයද ඔහුගේ ගීතයක් තරම්ම රසවත්ය. “මගේ අම්මා කපු පරම්පරාවෙන් පැවත එන කාන්තාවක්. අම්මාගේ ‍පොඩි අයියා නවගමුවේ ප්‍රධාන කපු මහත්තයා. ඔහුගේ පුතා සම්මානනීය කෙටි කතාකරුවකු වූ ඇරැව්වල නන්දිමිත්‍ර. ඉතින් අපේ ‍පොඩි මාමා සමග කුඩා අවදියේ සිටම මාත් ලොකු අයියාත් (තිලකරත්න කුරුවිට බණ්ඩාර) තොවිල් බලන්න යනවා.
රෑ එළිවෙනකන් තොවිල් දැකලා අපි ගෙදරදී ඒවා අනුගමනය කරලා අපිත් තොවිල් නටනවා. අපේ නැටුම් දකින ‍පොඩි මාමා අපිට ගහන්න පුළුවන් යක් බෙරයක් හදලා දුන්නා. අපේ අත්වලින් වාදනය කළ හැකි මේ පුංචි යක් බෙරයෙන් තමයි මටත් අයියාටත් කලාව ගැන මුල් ‍පොත කියවන්න ලැබුණේ. අපි තුළ කලාව උපන්නේ එහෙම”. කුඩා සුනිල් මෙන්ම තිලක් අයියාත්, විමලරත්න අයියාත් නිමල් මල්ලීත් ඉගෙනීම ලබා ඇත්තේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. 1960 දී පමණ වයස අවුරුදු 11ක් පමණ වූ කුඩා සුනිල් “අමල් බිසෝ” නමින් නාට්‍යයක් ලියා ඇත. තිලක් අයියා නිෂ්පාදනය කළ නුගේගොඩ තම නිවස අසල වත්තේ වේදිකා ගතවූ මේ නාට්‍යයේ රඟපෑ නළුවන් වූයේ තම පියා විසින් කුලියට දී තිබුණ නිවෙස්වල සිටි කුඩා දරුවන්ය. සුනිල්ගේ ඊළඟ පියවර වූයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ දී තමා විසින්ම ලියා නිෂ්පාදනය කළ “මඟුල්කෑම” නාට්‍යයයි. කුමාරතුංග මුනිදාස සූරින්ගේ කතාවක් ඇසුරින් නිපදවූ මේ නාට්‍යය තුළින් පුංචි සුනිල්ගේ ප්‍රතිභාව මතු විය. මෙය “සිඟිති කලා කවයේ” ඉදිරිපත් කිරීමකි. තිලක් අයියා ලියූ සුනිල් නිෂ්පාදනය කළ “දෙන දෙයියෝ” නාට්‍යය අන්තර් ජාතික පාසල් නාට්‍ය තරගයේ අවසාන නාට්‍ය 10ට ඇතුළත් වීම ඔවුන්ගේ කලා ජීවිතයේ එක් කඩඉමක් විය. මේ නාට්‍යයට සහභාගිත්ව සහතිකයක් හිමිවීම ඔවුනට රටක් රාජ්ජයක් ලැබිමක් බඳු විය. මේ අතර 1960 වසරේ සුනිල් පෙර දෙටු පෙළෙහි උගනිද්දී “අහිංසකයෝ” නමින් කෙටිකතා ‍පොතක්ද ලියා පළ කළේය. සුනිල් හා තිලක් මුලින් හිතාගෙන සිටියේ ‍පොත් ප්‍රකාශකයන් වීමටය. ඔවුන්ගේම රසික ප්‍රකාශන වෙනුවෙන් ‍පොත් 10ක් පමණ මුද්‍රණය වී තිබූ අතර ‍ලේඛන කලාවට යොමු නොවුණානම් ඔවුන්ද ප්‍රකට ‍පොත් ප්‍රකාශකයන්ය. මගේ සාහිත්‍ය නැඹුරුව අභිබවා නාට්‍ය කලාව පැත්තට යොමු වුණේ ගුණසේන ගලප්පත්ති නම් විශිෂ්ට නාට්‍යකරුවා නිසා. ඔහු නිෂ්පාදනය කළ “දේවතා එළි” නාට්‍යය අපේ පාස‍ලේ හවසට පුහුණු වීම් කළා. මමත් අයියාත් හවස නොවරදවාම මේ පුහුණුවීම් බලන්න එනවා. අපි නාට්‍යයට අවශ්‍ය ලෙස වේදිකාව අතුගා, පුටු අවශ්‍ය තැන්වල තබා, වේදිකා පරිපාලකට සහය වුණා. මේ විදිහට ගලප්පත්තිගේ “මූදු පුත්තු” හා “සඳකිඳුරු” දෙවන නිෂ්පාදනවලටත්, “ලිය තඹරා” හා “දෑස නිසා” නාට්‍යවලටත් අපි අත්උදව් දුන්නා. “දෑස නිසා” වේදිකා ගතවූ දා නිකුත් වූ සමරු කළඹේ එහි නිෂ්පාදක ගුණසේන ගලප්පත්ති ලෙසත් මගේ නම සහය නිෂ්පාදක ලෙසත් සඳහන්ව තිබිම මට අදහා ගන්න බැරිව ගියා. එතකොට මම කොට කලිසම් අඳින උසස් පෙළ පළමු වසරේ ශිෂ්‍යයෙක්. ‍පොතපත කියවීමටත්, කෙටිකතා ලිවීමට මෙන්ම නාට්‍යකරණය ගැනත් සුනිල්ට පරමාදර්ශය වූයේ තිලක් අයියාය. උසස් පෙළ හදාරන කාලයේම ඔහු “විචාරකයෝ” නමින් කෙටිකතා සංග්‍රහයක් මුද්‍රණයෙන් නිකුත් කර තිබුණි. හරියටම මීට වසර 50කට පෙර තිලක් අයියා තම පවු‍ලේ සහෝදර සහෝදරියන් එකතු කර “අපි ඔක්කොම” නමින් ‍පොතක් පළ කළේය. එදා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ තුන්වැනි ප්‍රමාණයේ ඉගෙනුම ලැබූ පවු‍ලේ බඩපිස්සා නිමල් කුරුවිට බණ්ඩාර අද වෘත්තියෙන් නීතිඥවරයෙකි. පෙරදෙටු පෙළෙහි උගෙනුම ලැබූ සුනිල් අද විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකි. විද්‍යා අංශයෙහි උන් විමල් ව්‍යාපාරිකයෙකි. ලොකු නංගී හේමලතා දැන් මිත්තණියකි. බාල නංගී රාණි සෙනෙහෙලතා විවාහකය. තිලක් අයියා ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. “සිළුමිණ”, “සරසවිය”, “මව්බිම” හා “සියත” ආදී පුවත්පත්වල හිටපු ප්‍රධාන කතුවරයෙකි. මේ සහෝදර සහෝදරියන් හය දෙනා ගැන 1964 සැප්තැම්බර් 02 වැනි බදාදා “ජනතා” පත්‍රයට “‍පොතපත ලියන්න උපන් පවුලක්” නමින් සිසිර කුමාර මානික්කආරච්චි විසින් ලිපියක් ලියා තිබුණි. එහි ඡායාරූපය ගෙන තිබුණේ එල්.ඊ. සමරරත්න විසිනි. දොළොස් හැවිරිදි වියේ සිටි සුනිල් 1964 දී පමණ තම ප්‍රථම නවකතාව වූ “අලකේශ්වර” නමින් ඓතිහාසික නවකතාවක් ලියා තිබුණි. ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ ඓතිහාසික නවකතාවල ආභාසයයෙනි, එය රචනා කර තිබුණේ. කුඩා අවදියේ තමාට බලපෑ ගුරුවරුන් ගැන සුනිල් කතා කළේ සෙනෙහසකිනි. “සාන්ත ජෝන් විද්‍යාලයේ මට ඉගැන්වූ අමරා ඇඹුල්දෙණිය හා අබේකෝන් යන ගුරුවරියන් හා ගුරුවරුන් මගේ මතකයට එනවා. අපේ උප විදුහල්පතිවරයා වූ ගුණදාස පෙරේරා (ලොකුකැටගොඩ) මහතා මගේ සාහිත්‍ය ගුරුවරයා. සාහිත්‍ය විචාරකයෙකු හා ‍ලේඛකයෙකු වූ ඔහු තලංගම බත්තරමුල්ල සුළු නගර සභාවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළා. ගුණදාස මහතා “සෙනෙවි පදවිය” නමින් ඓතිහාසික චිත්‍රපට කතා පිටපතක් ලියලා තිබුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට හිටියේ රොබින් තම්‍පෝ. මාත් ගුණදාස සර් සමග වරක් වැල්ලම්පිටියේ ආර්.ටී.චිත්‍රාගාරයට ගියා. මම මුල්වරට චිත්‍රපටයක් රූපගත කරන අයුරු දුටුවේ එදා. එල්.ඇම්. පෙරේරාගේ “හතර මහා නිධානය” චිත්‍රපටයේ දර්ශන රූගත කරන ආකාරය අපි බලා හිටියා. හැබැයි ගුණදාස සර්ගේ චිත්‍රපට කතාව නම් සිනමාට නැඟුණේ නැහැ”. කුඩා සුනිල්ට පාසල් යන කාලයේ සිදුව අමිහිරි අත්දැකීමක් තිබුණි. ඔහු මහාචාර්යවරයා වී තමා ඉගෙනගත් පාස‍ලේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අවස්ථාවේ ඒ කතාව කීවේ අද දවසේ හැකියාව ඇති සිසුන්ටත් කලා ක්ෙෂත්‍රයේ සිටින අයටත් අනිවාර්යෙන්ම මෙවැනි අමිහිරි දුර්ජන සිද්ධි විවිධ ආකාරයෙන් සිදුවන බවත්, එයට නොසැලී මුහුණ දීමට ශක්තිය තිබිය යුතු බවත් ප්‍රකශ කරමිනි. “මම මේ විද්‍යාලයේ ඉගෙනීම ලබද්දී එක්තරා ක්‍රීඩා උළෙලකට සමරුවක් සංස්කරණය කොට එය මුද්‍රණය කිරීමට හිතුවා. පාසලට ඒ සඳහා ප්‍රතිපාදන නොතිබූ නිසා මා උත්සාහයෙන් දැන්වීම් එකතුකොට සමරුව මුද්‍රණය කොට එහි විවරණිකාව - සුනිල් ආරියරත්න කියලා දැම්මා සඟරාවේ අගපිටුවේ පහළින්. මෙය දුටු විදුහල්පති සමරවික්‍රම කතුරක් ගෙන හැම සමරුවකම මගේ නම කපලා දැම්මා. මට මෙය පුදුමයක්. ප්‍රසංශාවක් වෙනුවට මගේ අහිංසක ප්‍රයත්නය කිසිම හිතක්පපුවක් නැතිව කපා දැමීමක්. පාසලින් සමුගෙන සිටි හිටපු ශිෂ්‍ය නායකයකු වූ තිලක් අයියාට මේ සිද්ධියට කේන්ති ගිහින් විදුහල්පතිවරයාගේ කුහක ප්‍රතිපත්තිය ගැන දැඩි ලෙස දොස් පැවරුවා. මේ සිද්ධිය නිසා මට පාසල් යාමට බැරි තත්ත්වයක් උදා වුණා.” අද පූර්ණ සාර්ථක තෘප්තිමත් ජීවිතයක් ගතකරන මහාචාර්ය ආරියරත්නට මෙවැනි කෙනහිලි ඇති වූයේ තම පාසල් ජීවිතයේදී පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයෙන්ද එවැනි කුහකකම්වලට මුහුණ දීමට සිදුවී ඇත. 1971 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක් ලබා ගත් ඔහු එම විශ්වවිද්‍යාලයට තාවකාලික බාහිර කථිකාචාර්යවරුයකු ලෙසවත් බඳවාගෙන නැත්තේ ඔවුන්ගේ බල අධිකාරය නිසා. “කොපමණ කෙණෙහෙළිකම් මැද වුවද 1972දී මහාචාර්ය ඩී.ජේ. විජයරත්න විසින් කැලණි විශ්වවිද්‍යාලයේ තාවකාලික සහකාර කථිකාචාර්ය පදවියට පත්කර ගැනීමට කාරුණික වුණා. එතුමා එහි සිටියදී සෑම වසරකම මගේ පදවිය දීර්ඝ කළා. මේ අතර 1976 යාපන විශ්වවිද්‍යාලයේ ස්ථීර තාවකාලික කථිකාචාර්ය පදවියට මා පත්කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ මහාචාර්ය සුචරිත ගම්ලත්ටයි. යාපනයේ සිටියදී මහාචාර්ය ගම්ලත්, ධර්මසේන පතිරාජ හා මම දෙමළ භාෂාව ඉගෙනීමට පටන් ගත්තත් දෙමළ අන්තවාදීන්ගේ විරෝධය මැද අපි ඇතුළු සිංහල සිසුන් එක රැයකින්ම කොළඹට පැමිණියා.” 2000 වසරේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා තෙක් දිග ගමනක් පැමිණි එතුමා ලත් කටුක හා කුහක ප්‍රතිපත්ති ගැන අද උපේක්ෂාවෙන් බලයි. එදා මෙදා මහාචාර්යතුමා ග්‍රන්ථකරණයෙන් (සාහිත්‍ය සහ සංගීත ක්‍ෂේත්‍රය) නියැලී සම්මාන ස්වර්ණ මුද්‍රිකා සහ ගෞරව සම්මාන රැසක් ලබා ඇත. මේ අතර 2010 යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සුමති සම්මානයද වෙයි. අනූපමා (1978) සිට කුස පබාවතී (2012) දක්වා වෘත්තාන්ත චිත්‍රපට 19ක් අධ්‍යක්ෂණය කර ඇති මහාචාර්යවරයා සිය 20වන වෘත්තාන්ත චිත්‍රපටය වූ ‘යසෝදරා’ චිත්‍රපටය සැලසුම් කර සිටී. ගීත දහසක් සුනිලුන් අතින් ලියවී ඇතත්, නන්දා මාලනිය ගැයූ ගීත අතරින් වැඩිම හරියක් රචනා කරන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි. ඒ පිළිබඳව මාධ්‍යවේදී පාලිත පෙරේරා ඔහුගෙන් අසා තිබුණි. (1985 අප්‍රේල් ‘කල්පනා’ සඟරාව) “මම කැමතිම ගායිකාව රුක්මණී දේවි. එයට හේතුව ඇගේ කටහඩ් කිසියම් ශෝකයක් හා ගැඹුරක් ගැබ්ව තිබිමයි. රුක්මණී දේවිගේ ගීත ඇසුවට පස්සෙ මා ඇසූ, මා ප්‍රියකළ හඬ තමයි නන්දා මාලිනීගේ කටහඬ. මා ඒ කටහඬට ඇළුම් කරන්නේ ඇයි? ඒ කටහඬෙහි ගැබ්ව ඇති එක්තරා විදිහක ශෝකාකූල ස්වභාවය මගේ ජීවිතයත් එක්ක එක්තරා විදිහකට සම්බන්ධයි කියලා මම හිතනවා. මගේ හුඟක් ගිතවල තියෙන විප්‍රලම්භ ශෘංගාරය රසයන් අතරින් ශෝකය තුළින් නැගෙන කරුණා රසයට මම කොහොමත් කැමතියි. ඒක නිසා නන්දාගේ කටහඬ තුළින් මා ලබන්නේ කරුණා රසය. ශෝකාකූල ස්වභාවයක් ඒ හඩ් ඇති නිසා මම හිතුවා ඒ හඬ මගේ හදවතට කිට්ටුම හඬයි කියලා. ඒ නිසා බොහෝ කාලයක පටන් නන්දා මාලිනී මගේ ප්‍රියතම ගායිකාව වුණා. 1989 භීෂණ සමයේ මරණීය තර්ජන නිසා දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවට සංක්‍රමණය වූ මහාචාර්යවරයා අඩයාර් ආසියාතික අධ්‍යයන කේන්ද්‍රයෙන් දෙමළ භාෂාව ඉගෙන සහතික පත්‍රය ලබාගත්තේය. පෙරළා දිවයිනට පැමිණි එතුමා දෙමළ භාෂා විෂය සඳහා අ.‍පො.ස. සාමාන්‍ය පෙළට පෙනී සිට සම්මාන සාමාර්ථයක් ලබා ඇත. කලාකරුවෙකුට, ‍ලේඛකයෙකුට, කවියකුට, ගීත රචකයෙකුට, චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට, පර්යේෂකයකුට තම ජීවියේ විවිධ පැතිකඩ සඳහා ලැබිය හැකි ඉහළම රාජ්‍ය සම්මාන ඇතුළු විශිෂ්ට සම්මාන විශාල ගණනකින් පිදුම්ලත් එකම දුර්ලභ පුද්ගලයා වූ මහාචාර්යවරයා සිය අනාගතය ගැන මෙසේ පවසයි. “දැන් මගේ නිත්‍ය පදිංචිය පිළියන්දල “ආරණ්‍යවාසයයි. කොඩිගහයට උපත ලබා නුගේගොඩ හැදී වැඩී, අධ්‍යාපනය ලැබූ මගේ සිහිනය වූයේ කොළඹින් ඈත ගමක ගඟක් අසබඩ පුංචි නිවසක ජීවිතයේ අගභාගය ගෙවීමයි. සැලසුම් කරගත් පරිදි මම පිළියන්දල මඩපාත කහ‍පොළින් අක්කරයක ඉඩමක් මිලදී ගත්තා. මගේ ප්‍රමාණයට කුඩා ගෙයකට අවශ්‍ය සැලසුම නිර්මාණය කරදුන්නේ මහානාම ප්‍රේමතිලක. මෙහි ඇත්තේ කාමර දෙකක් පමණයි. එකක් මගේ නිදන කාමරය. අනික පුස්තකාල කාමරය. හැමදාම මම පරිහරණය කළේ වේවැල් භාණ්ඩ. එයට හේතුව මේ භාණ්ඩ මට තනියම එහා මෙහා කරගත හැකි නිසා. මම නිදා ගන්නා තනි යහන වුණත් මට තනියම එහා මෙහා කරගන්න පුළුවන්. මේ ගෙය ඉතා සරල කුඩා ගෙයක්. මම හැමදාම උදේ අවදිවන්නේ පාන්දර 04ට. උදේ කා‍ලේ මට හුඟාක් ලියන්න, කියවන්න පුළුවන්. කිසිවෙකු දුරබැහැර සිට නොපැමිණෙන නිසා මට පූර්ණ නිදහස තියෙනවා. මම රෑට නින්දට යන්නේ රෑ 10ට පමණ. මට උයන්න බැහැ. ඒ සඳහා සේවකයෙක් ඉන්නවා. උයලා, වත්තපිටිය බලා ගන්න. මගේ ආරක්ෂාවට බල්ලන් තුන් දෙනෙක් ඉන්නවා. පාරවල් ඇවිත් නවීකරණය නොවූ පරණ ගමක මගේ ආරණ්‍යවාසය පිහිටලා තියෙන්නේ. ගමේ මිනිස්සුත් හොඳයි. බොල්ගොඩ වැවට මුහුණ ලා ඇති මෙහි ඇත්තේ පාලම් පාරුවක් විතරයි. “වෝටර්” චිත්‍රපටයේ දර්ශනතලය තිබුණේ මට පේන දුරක.'' මහාචාර්ය ආරියරත්න කෑමට ප්‍රියකරන්නේ ගමේ එළවළුවලටය. උඩරට වැවෙන රාබු, ගෝවා, බිට් රූට් වැනි දේ ඔහුට ප්‍රිය නැත. මස් කෑමට පිය නොකරන අතර ඔහු ඉඳහිට මාළු කෑමට ප්‍රිය කරයි. පන්සල් නොයන මහාචාර්යවරයා ගෙදර බුදුන්ට පහනක් තබා පන්සිල් ගනී. සිල් නොගත් ඔහු දහම් පාසලකටවත් ගොස් නැත. දෙමාපියන් ජීවතුන් අතර සිටියදී සෑම වසරකම ජනවාරි 01 වෙනිදා පවු‍ලේ හැම සාමාජිකයකුම සමග බෙල්ලන්විල පන්සල් ගොස් ඇත. අම්මාත් තාත්තාත් මියගිය පසු සහෝදර සහෝදරියන් විසිරී ගොස් ඇති නිසා මේ සම්ප්‍රදාය නැවතී ඇත. එසේ වුවත් මහාචාර්යවරයා නිතර නිතර බෞද්ධ ‍පොතපත කියවමින් පර්යේෂණ කටයුතුවල නියැළී ශාස්ත්‍රීය කෘති සම්පාදනය කරයි. බෞද්ධ තේමාවන් තම චිත්‍රපට සඳහා පාදක කරගනී. මේ දිනවල යසෝදරා දේවියගේ චරිතය ගැන ඔහු පර්යේෂණ කරයි. “මට ජීවිතය ගැන තනිකමක් හෝ පසුතැවීමක් හෝ ආතතියක් නැහැ. මට හොඳට නින්ද යනවා. ඊයේ ජීවිතය ගැන හෝ අද ජීවිතය ගැන හෝ පසුතැවීමක් නැහැ. ජීවිතයේ වැරදුණු තැන්. දුක්බර තැන් වේදනා ලැබූ තැන් තිබුණා. ඒවා දැන් මගේ ඔළුවේ නෑ. ඒව ආවර්ජනා කරල තැවෙන්නෙත් නෑ. මගේ ජීවිතයේ අවසානභාගය මම සැලසුම් කර තිබෙනවා. හෙට අද තරම් සුන්දර නැති බව මම දන්නවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ එන පරිදි බුදුන්වහන්සේ අන්තිම කාලයේ දිරාපත් වුණා. ජරාපත් වුණා. තම ශරීරය දිරාගිය කරත්තයක් වගේ වුණා කියා උන්වහන්සේ කියල තිබුණා. බුදුන්වහන්සේටත් එසේ වුණා නම් අප ගැන කවර කතාද?” මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අප සමුගන්නා විට කීවේය.
 ඒ.ඩී. රන්ජිත් කුමාර


තාත්තා නිදාගන්න කල් ඉඳලා අයියයි මමයි 9.30 බලන්න යනවා

මෙවර අපේ කතා නායකයා මෙරට සිටින ප්‍රවීණ ගීත රචකයකු, විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු සහ ශාස්ත්‍රීය පර්යේෂකයකු වන ජ්‍යෙෂ්ඨ මහාචර්ය සුනිල් ආරියරත්න මහතා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිංහල විශේෂවේදී ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයක් ලබමින් සිය ප්‍රථම උපාධිය ලබාගත් හෙතෙම කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයකු ලෙස වෘත්තීය දිවියට අවතීර්ණ විය.
ජයවර්ධනපුර සරසවියෙහි ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා ලෙස කටයුතු කරන ආරියරත්න මහතා විසින් ඉටුකරන ලද ශාස්ත්‍රීය මෙහෙවර අගයමින් ජාතික මට්ටමේ සම්මාන රාශියක් ඔහු වෙත පිරිනමා තිබේ. ඒ අතර 1996 දි පිරිනමන ලද සිරිමාවෝ බණ්ඩාරනායක විශ්ව ප්‍රසාදිනී සම්මානය, සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් 1999 දී පිරිනමන ලද රාජ්‍ය සංගීත සම්මානය විශිෂ්ටතම ගීත රචකයාට සහ සිනමා අධ්‍යක්‍ෂවරයාට පිරිනැමුණු ජනාධිපති සම්මාන, සරසවි, ස්වර්ණ සංඛ, සුමති ටෙලි සම්මාන ඇතුළු සම්මානද, 1994 හොඳම පරිවර්තනය සඳහා පිරිනැමූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ජාතික සමගිය උදෙසා කරන ලද මෙහෙවර අගයා 1996 දී පිරිනමන ලද ජනතා සාම ත්‍යාගය, ආදී විදුදයන්ගේ සංසදය විසින් පිරිනමන ලද විද්‍යෝදය විභූෂණ සම්මානය ද වෙසෙසින් සඳහන් කළ යුතුය.
ස්වකීය නවතම සිනමා නිර්මාණය වන ‘කුස පබා’ චිත්‍රපටයේ වැඩකටයුතුවල යෙදී සිටින බොහෝම කාර්ය බහුල කාලවකවානුවක වුණත් ඔහුගේ ළමා කාලය ගැන සිළුමිණ පාඨකයන්ට තොරතුරු පවසන්නට මහාචාර්ය සුනිල් ආරියරත්න සිය වටිනා කාලයෙන් හෝරා කීපයක් මිඩංගු කරන්නට එකඟ වුණේ සතුටින්.
නවසිය හතළිස් නවයේ ජූලි මාසේ විසි අට වැනිදා ඔහු මෙලොව එළිය දුටුවේ කොළඹ කොඩිගහයට පිහිටි ද සොයිසා මාතෘ නිවාසයේදි. නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ විලියම් කුරුවිට බණ්ඩාර ඔහුගේ පියා. අම්මා සෝමලතා වැලිවත්ත. ඇගේ ගම මහරගම ඇරැව්වල. පියාගේ ගම කෝට්ටේ. අම්මා රැකියාවක් කළේ නෑ.
ඔවුන්ගේ පවුලේ දරුවෝ හය දෙනයි. සුනිල් පවුලේ හතරවැනියා. පවුලේ වැඩිමලා අයියා. ඔහු අද මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියකු වන තිලකරත්න කුරුවිට බණ්ඩාර. හිටපු සිළුමිණ කර්තෘ. සුනිල්ට වැඩිමල් අයියලා දෙන්නයි. අක්කයි. බාල නංගියි මල්ලියි. තාත්තා බොහොම දූරදර්ශී උත්සාහවත් ව්‍යාපාරිකයෙක්. කෝට්ටේ සිට නුගේගොඩට ඇවිත් ඒ කාලේ ඒ තරම් දියුණු නැති නුගේගොඩ නගර මධ්‍යයේ ඉඩම් කැබලි කිහිපයක්ම මිලදී අරන් කඩ පේළියක් හදන්න හිතුවා. අද නුගේගොඩ සුපිරි වෙළෙඳසැල ඉදිරිපිට පිහිටි ඒ භූමිය එදා එකම මඩ වගුරක්. ඒ හරහා කොළඹට මහ පාරක් වැටෙනවා කියු ආරංචියට කඩපෙළක් හදන්න හිතාගෙන අද ‘තිලක උයන’ පිහිටි තැන පිහිටි ඉඩම් කෑල්ල ඔහු මිලදී ගත්තේ.
ඒත් නොහිතූ විදිහට පාර වැටුණේ ඉන් එක ඉඩමක් එහායින්. ඒ නිසා විලියම් මුදලාලි කඩ පෙළක් වෙනුවට ඒ ඉඩමේ නිවාස කීපයක් හදලා ඒවා කුලියට දුන්නා. පුංචි කාලේ පටන් මෑතක් වනතුරුම සුනිල් ගේ වාස භූමිය වුණේ තිලක උයනේ පිහිටි නිවෙස. මේ නිසා සුනිල්ට පුංචි කාලේ ආශ්‍රය කරන්න ලැබුණේ තාත්තාගේ කුලී නිවාසවල පදිංචි වෙලා හිටි පවුල්වල ළමයි.
පුංචි කාලේ සුනිල්ගේ ගෙදරට පිටුපසින් තිබුණේ වෙල් යායක්. මේ වෙලේ ගලා ගිය ඇළපාරවලින් ගප්පින් වැනි කුඩාමසුන් අල්ලා බෝතල්වලට දාගත්තු හැටිත්, වෙලේ නියර දිගේ සරුංගල් යවපු හැටිත් සුනිල්ට තවම මතකයි.
සුනිල් මුලින්ම පාසල් ගියේ නුගේගොඩ පල්ලිය අසල තිබුණු සිංහල ඉස්කෝලෙට. ඒ වන විිට අයියලා නුගේගොඩ ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලෙටත්, අක්කලා ශාන්ත ජෝන් ගැහැනු පාසලටත් ගියා. සුනිල්ගේ පියා පාසල් අධ්‍යාපනය ලබා තිබුණේ දෙකේ පන්තියට විතරයි. ඒත් ඔහුට දරුවන්ට හොඳට උගන්වන්නට ලොකු වුවමනාවක් තිබුණා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දුන්නා.
ඒත් කොයි තරම් තිබුණත් අනවශ්‍ය දේට වියදම් නොකර අරපිරිමැස්මෙන් ජීවත් වෙන්නට දරුවන්ට කියා දුන්නා. තාත්තාට ඒ කාලේ කුලී මෝටර් රථ කිහිපයක්ම තිබුණා. ඒත් කිසි දිනෙක ඒවායින් පාසලට යන්නට එන්නට ඔහු දරුවන්ට ඉඩ දුන්නේ නෑ. නිවසේ සිට පාසලට ඇති දුර ඔවුන් හැමදාම ආවේ ගියේ පයින්. සුනිල් පුංචි කාලේ පටන්ම සිංහල භාෂාවට, කථනයට, රචනයට හපනා. ඔහු අකමැතිම විෂය ගණිතය. සුනිල් පහේ පන්තියේදි අයියලා උගත් ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළු වුණා.
තාත්තා දරුවන්ට ආදරේ වුණත් බොහොම සැරයි. ඔහු සමඟ සුනිල් මුළු ජීවිතේටම වචන දාහක් වත් කතා කරලා නැතැයි අද ඔහු පවසනවා. දරුවන් සියලු ගනුදෙනු කළේ අම්මත් එක්ක. ඈ දරුවන් හා තාත්තා අතර සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කළා. තාත්තා ඉන්න වෙලාවට ගෙදර නිශ්ශබ්දයි. කෑම කන වෙලාවට බත් ඇටයක්වත් බිම දාන්න තහනම්. “කෑම කන වෙලාවට මහ රජ්ජුරුවෝ ආවත් හිඳ සිටින අසුනෙන් නැගිටින්න එපා! එය බත් පතට කරන අගෞරවයක්” කියලයි තාත්තා කිව්වේ.
උදේ පටන් ගත් පාසල ඇරුණේ හවස 2.30 ට. දහයට තේ සමඟ කන්නට යමක් අරගෙන හැමදාමත් අම්මා පාසල ළඟට ආවා. නුගේගොඩ ශාන්ත ජෝන් බාලක හා බාලිකා පාසල් දෙක පිහිටියේ පාර දෙපැත්තේ. සුනිල්ගේත් අයියලාගෙත් පංගුව දීලා අම්මා අක්කලාගේ තේ පංගුව දෙන්න බාලිකාව ළඟටත් යනවා.
උපන්දා සිටම නුගේගොඩ පදිංචිව සිටි අපට ගමක් කියා දෙයක් තිබුණේ නෑ. අම්මා ගේ ගම වූ ඇරැව්වල අපි අපේ ගම හැටියටයි සැලකුවේ. සිංහල අවුරුද්දටත් පාසල් නිවාඩුවටත් අපි ඇරැව්වල අම්මාගේ මහ ගෙදරට ගියේ හරිම කැමැත්තෙන්. අපේ අම්මා කපු පරම්පරාවකට අයත් කෙනෙක්. ඒ කාලේ නවගමු දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහත්තයා වූ ලයිමන් කපු මහත්තයා අපේ අම්මාගේ සහෝදරයෙක්. ඔහු අපේ මාමා. නිවාඩුවට අපි එහේ ගිහින් සතියක් විතර ඉන්නවා.
ඒ කාලේ ඇතුළත අපිටත් මාමා එක්ක අඩුම ගානේ තොවිල් දෙක තුනකටවත් සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. මාමාගේ පුතාලත් එක්ක තොවිල් ගෙදරට යන අපටත් කපු මහත්තයා ගේ ඥාති දරුවන් විදිහට ඒ ගෙවල්වලින් උසස්ම සත්කාර සංග්‍රහ ලැබෙනවා. එළිවෙනකල් කැවිලි කකා, තේ බිබී තොවිල් බලලා එන අපි ගෙදර ආ හැටියෙම අම්මාගෙන් පරණ සාරියක් දෙකක් ඉල්ලා ඇඳගෙන පුවක් මලක් කොතලකුත් අතින් අරගෙන ඒ ඒ විදිහටම බෙර ගගහා කවි කියමින් තොවිලයක් නටනවා.
මගේ මේ ආසාව හැඳිනගත් පොඩි මාමා මට පුංචි පහතරට බෙරයක් හදවලා දුන්නා. මේ තොවිල්වලින් දෙවොල් මඩුවේ වාහල නැටුමට මම බොහොම කැමතියි. සංගීතයට නැටුමට ගීතයට මා තුළ වන ඇල්මට මුල් බිජුවට සැපැයෙන්නට ඇත්තේ මාමලාගේ මේ තොවිල් පවිල් ආශ්‍රයෙන් වෙන්නට ඇතැයි මා සිතනවා.” මහාචාර්යතුමා කියනවා. ”ලොකු අයියා උසස් පෙළ පන්තියේදි “අමල් බිසෝ” කියලා නාට්‍යයක් නිර්මාණය කළා. මේ නාට්‍යයේ රඟපෑවේ අපේ පවුලේ ළමයි. ඒ වගේම අපේ අසල්වැසි දරු දැරියෝ. මමත් ඒකේ රකුසකුගේ චරිතයක් රඟපෑවා. අපි ශත පහ ගාණේ ටිකට් නිකුත් කරලා අහල පහල නිවැසියන්ට අලෙවි කළා.
නාට්‍යය රඟ දැක්වූයේ තාත්තා අලුතින් හදාපු ගෙදර අත්තිවාරම මත. අම්මාගේ දොර රෙදි ගලවාගෙන ඇවිත් එල්ලා තිරරෙද්ද සකස් කර ගත්තා. අම්මා කැවිලි සමඟ තේ හදා දුන්නා. එදා අපේ නාට්‍යය බලන්න අහල පහල ගෙවල්වල හැමෝම ආවා. අපි ඒ ප්‍රේක්‍ෂකයන්ට පුංචි තේ පැන් සංග්‍රහයකුත් කළා. අපිට පාසලට යන්න දෙන මාරු කාසි එකතු කරලා ලොකු අයියායි මමයි කළේ පොත් පත් ගැනීමයි.
අයියාටත් මටත් වෙන වෙනම පොත් එකතුව බැගින් තිබුණා. අයියාට චිත්‍රපටි සහ නාට්‍ය බැලීමේ තද ආශාවක් තිබුණා. අගනුවර සිනමා සහ නාට්‍ය ශාලාවල පැවති චිත්‍රපට හා නාට්‍ය දර්ශන බලන්නට බොහෝවිට අයියා ගියේ මා සමඟ.
චිත්‍රපට හෝ නාට්‍ය බලන්නට අපිට තාත්තා අවසර දුන්නේ නෑ. අපි අම්මාට කියා තාත්තාට හොරෙන් මේවා බලන්නට යනවා. අපිට දෙන පොකට් මනි ඉතිරි කරගෙන අපි චිත්‍රපට නාට්‍ය බලන්න ගියා. බස් ගාස්තු නැත්නම් පයින් හරි ගියා. අයියා ඒ වන විටත් පත්තර වලට කවි කතා රචනා ලියා යම් යම් ලේඛකයන් හඳුනාගෙන සිටියා. මටත් ළමා මණ්ඩපයට ලියන්නට උදව් කළේ අයියා. අපි කට්ටිය එකතුවෙලා ලියූ ලිපි එකතු කරලා අයියාත් මාත් පුංචි පොතක් මුද්‍රණය කළා. “අපි ඔක්කොම”. මේ පොතට විචාර කිහිපයක් ම ඒ කාලේ සිළුමිණ දිනමිණ ලංකාදීප වැනි පුවත්පත්වල පළ වුණා. අපි ලියූ කතා පොත් මුද්‍රණය කරවා ගන්නට අයියත් මමත් පිටකොටුවේ පොත් සාප්පු ගානේ ගියා. එසේ ගිය වරෙක ආපහු එන්නට බස් එකට මුදල් නැතිව ගෙදරටම පයින් ආ හැටි මට මතකයි.”
”අපේ අම්මා නුගේගොඩ ශාන්ත ජෝන් බාලිකාවේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන තිබුණා. ඒ වගේම ඈ කිසියම් කලා පරපුරකින් පැවැත ආ කාන්තාවක්. අම්මාට අපේ සහජ හැකියාවන් පිළිබඳ හොඳ වැටහීමක් තිබුණා.
කවි සින්දු නාට්‍ය හා චිත්‍රපටවලට ආසක්ත වීමෙන් අපේ ඉගෙනීම කඩාකප්පල් වේ යැයි තාත්තා බය වුණා. ඒත් අම්මා අපේ හැකියාවන් හඳුනා ගෙන ඒවා වර්ධනය කර ගන්නට රුකුල් දුන්නා.
සහෝදර සමගිය ගැන උපදෙස් දෙමින් තාත්තා හැම විටම කීවේ කුඩා කල ඔහු කියැවූ “හාල්මැස්සන් සහෝදරයන්ගේ කතාව“ පිළිබඳවයි. එදා පටන් අද වන තුරුම මමත් ලොකු අයියාත් මේ හාල්මැස්සන් සහෝදරයන් ගේ කතාව කුමන පොතේ තිබේදැයි හොයනවා. ඒත් අද වෙනතුරුම අපට එය හොයා ගන්නට බැරි වුණා.” මහාචාර්යතුමා කියනවා.
”පාසලේදි මගේ හැකියාවන් හඳුනාගත්තු ගුරුවරු අතරින් සිංහල උගන්වාපු ගුණදාස පෙරේරා ගුරුතුමාත් ඔස්ටින් ද සිල්වා ගුරුතුමාත් මට විශේෂයෙන් මතක් වෙනවා. ඔස්ටින් ද සිල්වා මහත්තයා දැරුවේ වාමාංශික අදහස්. යොවුන් වියේ පසු වූ අපගේ සිත් සතන් තුළත් ඔහු දැරූ අදහස් පිළිබඳ විශේෂයෙන් උනන්දුවක් ඇති වුණා. හතේ පන්තිය මගේ සාහිත්‍ය ජීවිතයේ විශේෂ කඩඉමක්. මගේ පළමු කෙටිකතාව “අහිංසකයෝ” ලියා පළ කළේ මා හතේ පන්තියේ ඉගෙන ගත් කාලෙදි.
මට දෙකේ පන්තියේ උගන්වාපු අමරා ගුරුතුමීත් මගේ දස්කම් හඳුනාගත් ගුරුතුමියක්. පහේ පන්තියෙදි සංගීතය උගන්වාපු බී. වික්ටර් පෙරේරා ගුරුතුමාත් මට මතක් වෙනවා. මුල්වරට මා ගුවන්විදුලි සංස්ථාවට පා තැබුවේ වික්ටර් පෙරේරා ගුරුතුමා පුහුණු කළ බණ්ඩාරනායක අනුමරණ ගීතයක් ගායනා කිරීම සඳහායි. ඒ ගීතය ලිව්වේ ඔස්ටින් ද සිල්වා ගුරුතුමා. සංගීතවත් කළේ වික්ටර් පෙරේරා ගුරුතුමා.
රත්න දේශපි‍්‍රය සේනානායක සභාපතිත්වය දැරූ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය මගින් පවත්වන ලද කොළඹ දිස්ත්‍රික් අන්තර් පාඨශාලයීය පද්‍ය රචනා තරගයේ කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය මට ලැබුණා මතකයි. ඒ “පෑන” යන මාතෘකාව යටතේ ලියැවුණු පැදිපෙළකට. ඒ වගේම කොළඹ දිස්ත්‍රික් පාසල් අතර පැවැත්වුණු මේරි රත්නම් අනුස්මරණ කථික තරගයේ ප්‍රථම ස්ථානය ලැබුණේත් මටයි.” මහාචාර්යතුමා සිහි කරනවා.
පුංචි කාලේ සුනිල් හරි ලජ්ජාශීලීයි. කථික තරගවලින් දිනුවාට ඔහු පන්තියේ බොහොම නිශ්ශබ්ද චරිතයක්. ඔහුගේ මේ කුලෑටි ගතිය නිසා බොහෝ විට එදා ඔහු ලොකු අයියාගෙන් දොස් ඇහුවා ඔහුට මතකයි. සුනිල් ගේ අක්කා විවාහ ගිවිසගෙන සිටි ඩී.සී. මුණසිංහ මහත්තයාට නුගේගොඩ “විජය” පොත්හල අයත්ව තිබුණා.
ලොකු අයියාටත් සුනිල්ටත් තමන් ලියන කෙටිකතා කවි රචනා පොත් පළකරවා දෙන්නට මේ අලුත් මස්සිනාගේ සහයෝගයත් ලැබුණා. “අපි ඔක්කොම” පළකළාට පස්සේ “අලකේශ්වර” නම් වූ ඓතිහාසික නවකතාව, වගේම “ සියොතුන්ට රැකවල්” යන පොත් ලියා පළ කරවන්නට සුනිල්ට අවස්ථාව ලැබුණා. හතේ පන්තියේ සිට සාමාන්‍ය පෙළ පන්තිය දක්වා ගත වූ කාලය තුළ ඔහු පොත් හතරක් ලියා පළ කළා. මේ පොත් පිළිබඳ මැදිහත් විචාර ඒ කාලේ සිළුමිණ, දිනමිණ, ලංකාදීප, රිවිදින දවස, සිසු පෙරමුණ, රසවාහිනී, දිවයින වගේ පත්තරවල වගේම ගුවන් විදුලියේ ළමා මණ්ඩපයෙන් ප්‍රචාරය වුණා. පාසල් වියේදී මෙරට ළමා සාහිත්‍ය ලෝකයේ බබළන තාරකාවක් වන්නට සුනිල්ට වරම් ලැබුණේ එහෙමයි.
ගීතයට ඔහු තුළ වූ ඇල්මට පාදක වුණේ මාමලා ගැයූ වැයූ බලි තොවිල් ගී වගේම තාත්තා සතුව තිබූ ග්‍රැමෆෝන් යන්ත්‍රයෙන් නිකුත් වූ ග්‍රැමෆෝන් ගී. රෙඩ්පියුෂන් සමාගමට මුදල් ගෙවලා දවසේ පැය විසි හතර පුරාම ගීත අහන්න පුළුවන් ගුවන් විදුලි සේවයකුත් ඒ කාලෙ තිබුණා.
සුනිල් තදින්ම ආශා කළ අනෙක් මාධ්‍යය වුණේ සිනමාව. නුගේගොඩ නගර මධ්‍යයේ ජීවත් වූ ඔවුන්ගේ නිවසට වම් පසින් ක්වීන්ලන්ඩ් සිනමා හලත් දකුණු පසින් මෙට්‍රෝ සිනමා ශාලාවත් පිහිටා තිබුණා. හැන්දෑවේ හත අට වෙනකොට තාත්තා කාලා බීලා නින්දට ගියාම හොරෙන්ම අම්මාට කියලා රාත්‍රී 9.30 චිත්‍රපට දර්ශනය බලන්න අයියලාත් එක්ක සුනිල් මේ සිනමා ශාලාවලට ගියා. සිනමාව නරඹලා මැදියමත් පහුවෙලා තාත්තාට නෑහෙන්න අම්මාට කියලා නිසොල්මනේම දොර ඇරගෙන ඔවුන් ගෙට රිංගන්නේ හරියට හොර බළල්ලුන් වගේ.
පාසලේ සිංහල ගුරුතුමා ගුණදාස පෙරේරා මහත්තයා නිර්මාණය කළ “සෙනෙවි පදවිය” නාට්‍යයේ රඟපෑ සුනිල්ට වගේම ලොක අයියටත් ජීවිතේ ප්‍රථම වතාවකට චිත්‍රාගාරෙකට යන්න අවස්ථාව උදා වුණා. ගුණදාස පෙරේරා මහත්තයා සමඟ විවිධ වැඩවලට වරක් එහි යනවිට ‘සුදෝසුදු’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා චිත්‍රාගාරය මැද්දෙ කොටසක ගොයම් හිටවලා කුඹුරක් හදලා තිබුණු හැටි ඔහුට මතකයි. චිත්‍රපට පිළිබඳ විශේෂ උනන්දුවකින් පෙළුණු සුනිල්ට හැබැවින්ම චිත්‍රපටයකට දායක වන්නට අවස්ථාව සැලසුණේ නවසිය හැටේ දශකයේ මුල්භාගයේදි. ඒ කොළඹ ආනන්ද විදුහලේ උගත් ඒ.ඩී. රන්ජිත් කුමාර, රන්ජිත් ලාල්, බන්දුල පද්මකුමාර වැනි සිසුන් විසින් නිර්මාණය කරන ලද නිම්වළල්ල චිත්‍රපයට තේමා ගීතය ලිවීමෙන්. “හඳට අඬන කිරි දරුවෝ” යන ගීතය ලියමින් එදා සුනිල් චිත්‍රපට ගීත රචනා ක්‍ෂෙත්‍රයට එක්වුණා.
ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට ගීත කිහිපයක් රචනා කළ සුනිල් ඒ වන විට ලංකාවේ පළවූ විවිධ පුවත්පත්වලට ලිපි කෙටිකතා සහ කවි රචනා කොට තරමක් ජනපි‍්‍රය නමක් දිනා සිටියා. ඔහුගේ ලිපි හෝ කවි පන්ති වැඩියම පළ වුණේජනතා පත්තරේ කුමාර මණ්ඩපයේ ටිකිරි ළමා අතිරේකයේ. ඒ කාලෙ සුනන්ද මහේන්ද්‍ර මහත්තයා වැඩ කළේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ. ඔහු නිෂ්පාදනය කළ ගුවන් විදුලි ගීත නාටකය නම් වූ පැයක වැඩසටහට “කඩුපුල් උයන” නම් වූ ගීත නාටකයට සුනිල් ගීත දහයක්ම ලිව්වා.
පිටකෝට්ටේ දේවානන්ද නමින් එකල ප්‍රකට වූ ස්වාමින් වහන්සේ විසින් නුගේගොඩ හා ඒ ආශි‍්‍රත පාසල් සිසුන් හා යෞවනයන් එක්ව සංවිධානය කළ සුසිලෝදය වීර පෙරමුණට අයියලාත් සමඟ සුනිලුත් සහභාගි වුණා. බෞද්ධ සිරිත් විරිත්වලට අනුකූලව දැහැමිව පවත්වාගෙන ගිය මෙම සංගමයට බැඳී කටයුතු කිරීමෙන් සුනිල් මනා දහම් අවබෝධයක් ලබා ගත්තා. ප්‍රසිද්ධ විරිඳු ගායක ගායිකා යුවලක් වූ සේන පොන්සේකාට සහ දයා නෙල්ලම්පිටියට විරිඳු රචනා කරදුන් සුනිල් ඒ අවධියේදීම ගීත රචනයටත් ප්‍රවේශ වුණා.
උසස් පෙළ සමත්වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලෙට ඇතුළත් වූ සුනිල් එහි අවසන් වසරේ සිංහල විශේෂවේදී උපාධිය සමත් වුණේ ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයක් ලබමින්. ඒ පිළිබඳව එකල පුවත්පත්වලින් ඔහුට හොඳ ප්‍රසිද්ධියක් ලබා දී තිබුණා.
1972 දි විශ්ව විද්‍යාලෙන් පිට වූ සුනිල් ඒ වසරේ පටන් කැලණිය විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරැඹුවා. 1976 දි යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවයේ නියැළුණු ඔහු යාපනයෙන් පිට වී ආවේ ජාතිවාදී කෝලහාලවල ඇරැඹුමත් සමඟ. යාපන විශ්වවිද්‍යාලයේ උගත් සියලුම සිසුන්ට හා ආචාර්යවරුන්ට එක් රැයක් තුළ යාපනයෙන් පිටවීමට අණ ලැබුණට පසුවයි.
1985 දි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සේවයට එක්වූ ඔහුට 1989 දි කුසලතා මත සහාය මහාචාර්යධුරය පිරිනැමුවා. 1994 දි ඔහු වෙත කුසලතා මත මහාචාර්ය ධුරය පිරිනමනු ලැබුවා.
වසර 2000 දි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරයට පත්වූ ඔහු ඒ වන විට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිිටි ළාබාලතම මහාචාර්යවරයා ද වනවා. ශ්‍රී ජයවර්ධනපුර සරසවියට වසර පනහක් සපිරෙන විට මහාචාර්යතුමා එහි වූ 400 ක් පමණ වූ ආචාර්යවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතමයා බවට පත්ව සිටියා. තවමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා වන සුනිල් ආරියරත්නයන් දේශීය සුභාවිත ගීත ක්‍ෂෙත්‍රයට දායාද කොට ඇති ගීත සංඛ්‍යාව දහසකට ආසන්නයි.
ස්වතන්ත්‍ර නිර්මාණ, පරිවර්තන, විචාර සහ ශාස්ත්‍රීය පර්යේෂණ ආශි‍්‍රත ග්‍රන්ථ ආදී වශයෙන් ඔහු විසින් ලියන ලද පොත් සංඛ්‍යාව පනහකට අධිකයි. එදා මෙදා තුර ලාංකේය ගීත ක්‍ෂෙත්‍රයෙහි වඩාත්ම සම්මානයට පාත්‍රවූත් අතිශය ජනපි‍්‍රය වූත් ගීත රචකයා මහාචාර්ය ආරියරත්නයි. ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ සංඛ ඈ මෙරට පිළිගත් විශිෂ්ඨතම සම්මාන සියල්ලෙන්ම පිදුම් ලද ගීත රචකයා මෙන්ම සිනමා අධ්‍යක්‍ෂවරයාත් එතුමායි.
පුංචි කාලේ පටන්ම තමන් කරන කාරිය ඉතාම පිරිසුදුව පිළිවෙළට ඉටු කරන්නට රිසි වූ මහාචාර්යතුමා කවදාත් වෙලාවට වැඩ කරනවා. අදටත් පාන්දර හතරට අවදිවෙලා එදා දවසේ කළ යුතු රාජකාරි සියල්ල සිය දින පොතෙහි සටහන් කර ගන්න එතුමා කෙසේ හෝ ඒ සියල්ල ඉටු කර රාත්‍රී දහය වන විට නින්දට යනවා. උත්සාහයත්, කැපවීමත්, කැමැත්තත් ඇත්නම් ජයගත නොහැකි අභියෝගයක් මිනිසාට නැතැයි අදහන මහාචාර්යතුමා ගතවූ සිය ජීවිත කාලය තුළ තමාටත් තම රටටත් ඵලදායී මෙහෙවරක් ඉටුකළාය යන තෘප්තිමත් හැඟීමෙන් ප්‍රමුදිතව කටයුතු කරනවා.



  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පුද්ගලික ජීවිතයේ රසමුසු තැන් හෙළි කරන මහාචාර්ය සුනිල් ආරියරත්න... Rating: 5 Reviewed By: Unknown