728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 17 September 2013

ගේ විකුණලා ණය ගෙව්වා දැන් මං ඉන්නේ බෝඩිමක

ජයසේකර අපොන්සු

රාවණා රජ්ජුරුවෝ ගැන අපේ ඉතිහාසයේ හමුවන කතා බොහොමයි. ඒ විතරක් නොවෙයි රාවණා රජු ආ ගිය තැන් ජීවත්වුණු තැන් ගැන වර්තමානය වන විටත් දැඩි කතා බහකට යොමු වෙමින් පවතිනවා. රාවණා ඇල්ල, රාවණා ගුහාව ඇතුළු රාවණා හා සම්බන්ධ නම් ලද බොහෝ ස්ථාන අපේ රටේ විවිධ ප්‍රදේශවලින් හමුවෙනවා. ඒ විතරක් නොවෙයි බොහොමයක් පිරිස් මේ ස්ථාන නැරඹීමට යන අවස්ථාත් ඕනෑ තරම්.
අද අපේ කතා බහ යොමුවෙන්නෙත් රාවණා රජ්ජුරුවන් වෙත. රාවණා ගැන කතා කරන්න අපට හේතු වුණේ ඒ ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක් නිසා වෙන්. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා අපේ රටේ කාලයක් පුරා රංගනයෙන් වේදිකා නාට්‍ය නිර්මාණයෙන් හා සිනමා නිර්මාණයෙන් නමක් දිනා ගත්තෙක්. ඔහු ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජයසේකර අපොන්සු. ඔහුගේ නවතම සිනමා නිර්මාණය ‘සීතා මං ආවා’ දැන් රිට්ස් බොරැල්ල ඇතුළු එම්.පී. අයි. සහ එල්. එෆ්. ඩී. මණ්ඩලවල සිනමා ශාලාවන්හි තිරගත වෙනවා. චමින්ද රණසිංහ නම් වූ නවක නිෂ්පාදකවරයෙකු ඔහු මෙම චිත්‍රපටය ඔස්සේ සිනමාවට හඳුන්වාදෙනවා. ‘සීතා මං ආවා’ චිත්‍රපටය පිළිබඳත් ජයසේකර අපොන්සු ගේ නිර්මාණ ජීවිතය පිළිබඳත් කළ කතා බහකි මේ.
ඔබ සිනමා අධ්‍යක්ෂණයට එක්වෙන්නේ බොහොම කාලයකට පස්සේ නේද?
ඔව්. මගේ පළවැනි අධ්‍යක්ෂණය වුණේ ‘රෑ රූ’ චිත්‍රපටය. ඒක කරලා දැන් අවුරුදු විසි දෙකක් වෙනවා. ඒක හරියට දුවාගන්න ලැබුණේ නෑ. පස්සෙ කාලෙක මේ චිත්‍රපටය එවකට චිත්‍රපට සංස්ථාවේ සභාපතිවූ ජයන්ත ධර්මදාස මහතා නරඹා නැවත ප්‍රදර්ශනයකට අවස්ථාව දෙන්න සූදානමින් හිටියා. නමුත් ඒක වෙන්න කලින් එතුමා මාරු වුණා. එතුමා ඒක නරඹලා මට කිව්වා. මේ චිත්‍රපටය දිව්වේ නෑ කියන එක පුදුමයි නේ කියලා. ඒ කාලේ මේ චිත්‍රපටය නිදහස් කරද්දී සිනමාවේ අර්බුදයක් තිබුණා. ඒ කාලේ රීගල් මණ්ඩලයට විතරයි චිත්‍රපට බලන්න සෙනඟ ආවේ. මගේ චිත්‍රපටය වැටුණු හෝල්වලට සෙනඟ ආවේ නෑ.‍ ඒකට තවත් සිද්ධියක් බලපෑවා. ඒ වනවිට අපේ රටේ යුද්ධය, භීෂණය හොඳටම තිබුණා. මිනිස්සු හිටියේ චිත්‍රපට බලන මානසිකත්වයෙන් නොවෙයි. ඉතින් මගේ පළවැනි නිර්මාණයට සිදුවුණු ඒ පාඩුවත් යළිත් චිත්‍රපටයක් කරන්න මේ තරම් කාලයක් ගතවෙන්න හේතුවක් වුණා. අනිත් කාරණය තමයි අලුත් චිත්‍රපටයක් කරන්න නිෂ්පාදකවරයෙකු සිටියේ නැති එක.
‘සීතා මං ආවා’ ඔබේ දෙවැනි චිත්‍රපටය නිර්මාණය වුණේ කොහොමද?
දිනිත් එන්ටර්ටේන්ට්මන්ස් අධිපති චමින්ද රණසිංහ මා කාලයක් සිට දැන හඳුනාගෙන සිටියා. ඔහු ඩී.වී.ඩී. නිෂ්පාදකවරයෙක්. මීට ‍ප්‍රථම මම ඔහුත් සමඟ එකතු වී ‘දිල්කා දේකා’, ‘සුදු’ වැනි ඩී.වී.ඩී. චිත්‍රපට කළාට හෝල්වල පෙන්නන්න චිත්‍රපටයක් කළේ නෑනේ. ඒ නිසා අපි එහෙම එකක් කරමු මම වියදම් කරන්නම් කියලා. ඒ අනුව තමයි ‘සීතා මං ආවා’ චිත්‍රපටය කළේ.
‘සීතා මං ආවා’ තිර පිටපතත් ඔබේම ද?
ඔව්. මේ තේමාව මම ගොඩනැඟුවේ රාවණා රජ්ජුරුවෝ පදනම් කරගෙන. මේ චිත්‍රපටය හාස්‍යය මුසු වුණු චිත්‍රපටයක්. මුලින් ම රාවණා රජු ගැන අවබෝධයක් ලබන්න ඕන නිසා රාමායනය හොඳින් කියෙව්වා. රාවණා රජුගේ ගති ස්වභාවය පමණක් අ‍‍රගෙන ඒ කතාවට අපහාස නොවන ආකාරයට මගේ ම තිර කතාවක් ලිව්වා. කතාව ගොඩ නැ‍ඟෙන්නේ මෙහෙමයි.
රාවණා රජ්ජුරුවන්ගේ සිරුර බෙහෙත් තෙල් ඔරුවක බහා ගල්ලෙනක තිබෙන බැව් සටහන් කොට ඇති පුස්කොළ පොතක් හිමාලයේ ඍෂිවරයෙකුගෙන් ලබා ගන්නා පාසිං බායි (බන්දුල විජේවීර) නමැති මන්ත්‍රකාරයෙකු ශ්‍රී ලංකාවට පැමිණ සංචාරකයන් හට වනාන්තරයේ අලි සත්ත්වයන් පෙන්වීමේ නිරත වන ගයිඩා (රොඩ්නි වර්ණකුල) සමඟ ඔහුගේ ජීප් රථයේ නැඟ සිතියමේ සටහන් පිරික්සමින් වනාන්තරය තුළට ගොස් රාවණා ගුහාවට රිංගා බෙහෙත් තෙල් ඔරුවක වැතිර සිටින රාවණා දේහය සොයා ගනී.
මන්ත්‍රකරු ළඟ තිබෙන පුස්කොළ පොතේ මන්තර දෙකක් තිබේ. එකක් රාවණා සිහි ගන්වන මන්ත්‍රයයි. අනෙක රාවණා මරණයට පත්කරන මන්ත්‍රය වේ. පාසිංබායි, ගයිඩාවද සහභාගි කර ගනිමින් මන්තරය ජප කරයි. මෙහිදී විවිධ භූත රූප බෙහෙත් තෙල් ඔරුව වටා පිරෙමින් බාධා කළ ද පාසිං බායි නොනවත්වාම මතුරද්දී රාවණා ප්‍රාණය ලබමින් තෙල් ඔරුවෙන් නැඟී සිටියි. ඉන් පසුව සිදුවන විශාල සිද්ධි දාමයක් මේ චිත්‍රපටයට ඇතුළත්. මේ සියල්ලම කුතුහලය දනවන අන්දමින් හාස්‍යෝත්පාදකවයි ඉදිරිපත් කර තිබෙන්නේ. පවුලේ හැමෝටම එකට ඉඳගෙන රසවිඳින්න පුළුවන් හාස්‍යොත්පාදක චිත්‍රපටයක්. දෙපිට කැපෙන වචන, අසභ්‍ය දර්ශන මේ කිසිවක් චිත්‍රපටයට ඇතුළත් නැහැ. මේ චිත්‍රපටය බලපු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මට කිව්වා සත්‍යයත්, මායාවත් එකතු කරලා ලස්සන සංකල්පයන් ගොඩනඟලා තිබෙනවා කියලා.
මේ සංකල්පය ඔබට ගොඩනැ‍ඟෙන්න හේතු වුණේ කුමක්ද?
මේක මම ඉස්සර ලියපු වේදිකා නාට්‍යයක්. වැඩිය වේදිකා ගත වුණේ නෑ. ඒ කාලේ සිරිතුංග පෙරේරා තමයි නාට්‍යය නිෂ්පාදනය කළේ.
රූගත කිරීම් සිදු කළේ කොහෙද?
ඇත්තටම රාවණා රජු වාසය කළා යැයි සැලකෙන විශ්වාස කරන රාවණා ඇල්ල, දියතලාව ආශ්‍රිත ප්‍රදේශවල තමයි රූගත කිරීම් සිදු කළේ. රාවණා රජු හිටපු ගුහාවට විශාල බෙහෙත් තෙල් ‍ඔරුවක් රැගෙන යන්න ඕන වුණා. ඒ ඔරුව ගුහාවට ගෙනියන්න අපට දවසක් විතර මහන්සි වෙන්න වුණා. ඒ වගේ ම තමයි විශේෂ තාක්ෂණික ප්‍රයෝග බොහොමයක් අපි මේ චිත්‍රපටයට භාවිතා කරලා තිබෙනවා.
ඔබ පළවැනි චිත්‍රපටය අසාර්ථක වෙලා බැටකාපු කෙනෙක්. මේ චිත්‍රපටය සාර්ථක වෙයි කියලා හිතනවද?
පළවැනි චිත්‍රපටය වෙනුවෙන් කොච්චර බැටකෑව ද කියනව නම් අගොඩ හන්දියේ පර්චස් 20 ක මම හදල තිබුණු ලස්සන ගේ මට විකුණන්න සිදුවුණා. ඒකෙන් තමයි මම බැංකුවෙන් ගත්ත ණය ගෙවල දැම්මේ. ඒක මම සිනමාව වෙනුවෙන් කළ කැපකිරීමක්. අද ප්‍රේක්ෂකයින් චිත්‍රපට බලන්න එන තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා මට හිතෙනවා මේ චිත්‍රපටය සාර්ථක වෙයි කියලා.
මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා කුලුඳුලේ සිනමාවට පිවිසෙන කෙනෙක් නේද?
ඔව් ඔහු බොහොම උනන්දුවෙන් මේකට සම්බන්ධ වුණේ. නමුත් ඔහු මේ චිත්‍රපටයට සල්ලි වියදම් කරලා අවුරුදු 2 ක් බලන් හිටියා තිර ගත කරන්න. ඔහුගේ ධෛර්යය එන්න එන්නම හීන වුණා ඒ නිසා. දැන් තියන තත්ත්වය අනුව චිත්‍රපටයක වටිනාකම තීරණය කරන්නේ බෙදාහැරීමේ මණ්ඩලයයි. නැතුව චිත්‍රපටයට සල්ලි වියදම් කළ නිෂ්පාදකවරයාවත් අධ්‍යක්ෂවරයාවත් ප්‍රේක්ෂකයෝවත් නොවෙයි.
වර්තමානයේ සිනමාවේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් ඔබට බලපාන්නේ නැත්ද?
මේ චිත්‍රපටය පෙන්වන්නේ මොන හෝල් එකේ ද කියන එක නොවෙයි මගේ ගැටලුව. චිත්‍රපටය හොඳයි හොඳයි කියමින් කටින් කට ගියාම සෙනඟ එන තත්ත්වයත් දැන් සිනමාවේ නිර්මාණය වෙලා තිබෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා මම වෙනත් ප්‍රායෝගික ප්‍රශ්න ගැන හිතුවේ නෑ.
වරක් ඔබට සිනමාව නිසා ගේ දොර ඉඩ කඩම් පවා නැති වුණා. ඒ ගැන අසතුටක් නැත්ද?
නෑ. මම කලකිරිලා නෑ. තාමත් මම සිනමාවට ආදරෙයි. මගේ හිතේ ලොකු හීනයක් තිබෙනවා. මගේ චිත්‍රපටයක් බලන්න පෝලිමේ සෙනඟ එන දවසක් තිබෙනවා‍ නම් ඒක තමයි මගේ හීනය. මට හිතෙනවා මේ චිත්‍රපටයෙන් ඒක සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා.
. එතකොට ඔබේ වේදිකාවේ ජීවිතය කොයි වගේ ද?
ගේ දොර ඉඩකඩම් යාන වාහන ඇතුළු බොහෝ දේවල් මගේ ජීවිතේට අහිමි වුණා. වේදිකාව සිනමාව මගේ ජීවිතෙන් වෙන් කරන්න බෑ. මාව අත්හැර නොයන එකම දේත් ඒ කලාවම තමයි. ‘සකෝ’ සහ ‘තටු’ වේදිකා නාට්‍යය තවමත් දුවනවා. අලුත් වේදිකා නාට්‍යයන් මේ දිනවල ලියමින් ඉන්නවා. ඒ වගේ ම ‘සීතා මං ආවා’ නිෂ්පාදකවරයාටම තවත් චිත්‍රපටයක් ලියමින් ඉන්නවා.
‘සීතා මං ආවා’ චිත්‍රපටයේ නළු නිළියෝ කවුද?
බන්දු සමරසිංහ, බන්දුල විජේවීර, චංචලා වර්ණසූරිය, කුමාර තිරිමාදුර, රංජිත් ද සිල්වා, සරත් කුලාංග, ජීවන් හඳුන්නෙත්ති, දොන් ගයි, සනෝජා බිබිලේ, අනුරාධා කුරුකුලසූරිය, ගාමිණී කොස්තා ඇතුළු පිරිස් ඉන්නවා.
නිෂ්පාදනය දිනිත් එන්ටර්ටේන්ට්මන්ස් වෙනුවෙන් චමින්ද රණසිංහ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගේ විකුණලා ණය ගෙව්වා දැන් මං ඉන්නේ බෝඩිමක Rating: 5 Reviewed By: Unknown