පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ පිළිම වහන්සේ ජල බවුසරයක් යොදාගෙන ඉකුත්දා (30දා) රාත්‍රියේ කොසු ඉදල්වලින් පිරිසුදු කිරීමක් කර තිබේ. පුරාවිද්‍යා නිලධාරීන්ගේ කිසිදු අවසරයක් මේ සඳහා ගෙන නැතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුවේ කාර්යාලය පවසයි.ගම්පහ සුමඟ බෞද්ධ පදනම නම් පදනමකින් පැමිණ කිසියම් පිරිසක් මේ ස්ථානයේ ඉකුත්දා (30දා) රාත්‍රියේ සිට ආගමික වැඩසටහනක් දින 2ක් පුරා පැවැත්වීමට සංවිධානය කර ඇත.
කෙසේ වෙතත් මේ බෞද්ධ පදනමෙන් යැයි කියාගන්නා පිරිසක් ඉකුත්දා (30දා) රාත්‍රියේ වතුර බවුසර් ගෙනවිත් කොසු ඉදල් යොදා ගනිමින් පිරිසුදු කිරීමේ කටයුතු කර ඇති අතර එයින් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමක් සහිත ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි සිදුවීමට ඉඩ ඇති බැවින් එය සිදු නොකරන ලෙසට පුරාවිද්‍යා නිලධාරීන් ඉල්ලා සිටියද එය මායිම් කර නැතැයිද පැවැසේ.
බුදු පිළිම වහන්සේ පිරිසුදු කිරීම සඳහා කාන්තාවන්ද පිළිම වහන්සේ මතට නැඟ ඇත.
මේ පිළිබඳ පොළොන්නරුවේ සොළොස්මස්ථානාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමිගෙන් විමසීමට අප ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.
ගල්විහාරවාසී හිමිනමක් මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවැසූහ.
මේ පූජාව වසර 9ක් තිස්සේ සිද්ධ කෙරෙනවා. පූජාවට කලින් බුද්ධ ප්‍රතිමා වහන්සේ සුදු හඳුන් දියරෙන් දෝවනය කරනවා. ඊට පස්සේ තමයි අනෙකුත් වතාවත් සිදු කරන්නේ. පෙරේදා (31දා) රාත්‍රියේ පිරිත් සජ්ජායනා කළා. ඊයේ (1දා) සංඝයා වහන්සේ 200 නමකට මහා දානයක් පිළිගැන්නුවා. පුරාවිද්‍යාව පිරිසුදු කරන්නැත්නම් අපිවත් කරන්න එපැයි. කෙසේ වෙතත් සඳුන් දියරෙන් නොව ට්රැක්ටර්වලින් බවුසර් යොදාගෙන ගෙන ආ අපිරිසුදු ජලයෙන් මේ පිරිසුදු කිරීම් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
බුද්ධ ප්‍රතිමා වහන්සේ පිරිසුදු කිරීමේ ආගමික විධි බෞද්ධ සමාජයේ පවතින අතර ‘නානුමුර මංගල්‍යය’ නමින් ප්‍රකට පුද පූජා තිබියදී මෙසේ කාන්තාවන් යොදා බෞද්ධ පූජනීයත්වයට හානි කිරීම බරපතළ කරුණක් බව බෞද්ධ විචාරකයෝ පවසති.
මේ ආගමික කටයුත්ත ඉකුත්දා (30දා) රාත්‍රියේ පිළිම වහන්සේ පිරිසුදු කිරීමෙන් පසු පෙරේදා (31දා) පිරිත් සජ්ජායනාව සහ කිරිවෙහෙර අබියස පුද පූජා රැසක්ද සිදුකර ඇත. මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කඩිනම් පරීක්ෂණයක් පවත්වා පුරාවිද්‍යාත්මක ස්මාරක රැකගැනීම සම්බන්ධයෙන් පියවරක් ගැනීමට නියමිත බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
0 comments:
Post a Comment