වාසනාව අහම්බයකි. ඉරණමේ කවර හෝ තැනක ඒ වාසනාව සලකුණු වී තිබෙන්නට පුළුවන. මේ වාසනාවන්තයා අද මෙදියත හැර ගොසිනි. එහෙත් අතීතයේ එක්තරා දවසකදී ඔහු වෙතද වාසනාව පැමිණියේ ශ්‍රී ලංකාවේ පළමුවරට ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වාදුන් ආරෝග්‍යශාලා ලොතරැයියේ ප‍්‍රථම දිනුම් ලාභියාද ඔහු ලෙස ලොතරැයි ඉතිහාසයට එක් කරමිනි.
ඒ දවස 1955 සැප්තැම්බර් 15 වැනිදාය. එදා රුපියල් අනූ හත්දාස් තුන්සිය හතළිස් තුනයි සත පනහක් හිමි වාසනාවන්තයා බවට පත්වූයේ එම්.පී. කිරිඅප්පු මහතාය.
ඒ වෙද්දී කිරිඅප්පු මහතා තනිකඩ ඉලන්දාරියෙකි. එහෙත් නොසිතූ මොහොතක ලැබුණු මුදල් කන්දරාව සාර සුබාවෙන් පිරි අනාගතයක පවුරු පදනම් උදෙසා යෙදවිය යුත්තේ කෙසේදැයි යන්න පිළිබඳව කදිමට කල්පනා කරන්නට තරම් නැණ මහිමයක් ඒ තරුණයා සතුවිය. කෝටි ගණනින් වාසනාව හිමිවුවත් අවසානයේ යාචකයකුගේ මට්ටමට වැටීම දක්වා නාස්තිකාර සිතුම් පැතුම් අතර සැරිසරන යෞවනයන් අතර ඔහු පරමාදර්ශී ඉලන්දාරියකු ලෙස අදටත් සිහිපත් කළ හැකි වන්නේද එබැවිනි.
අපේ තාත්තා තමන්ට ලැබුණු මුදලින් සතපහක්පත් නැති නාස්ති කරලා නෑ. උපරිම ඵල ප‍්‍රයෝජනයක් ඒ මුදලින් ගත්තා. පරම්පරා ගණනාවකට ජීවත් වෙන්න දෙයක් හරි හම්බ කරන්න තමා තාත්තා මහන්සි අරගෙන තියෙන්නේ. ඉඩකඩම් අරගෙන මෝටර් රථයක් අරගෙන. තාත්තලා මුලින් ඒ තරම් පොහොසත් උදවිය නෙමේ. පවුලේ 11 දෙනෙක් ඉඳලා තියෙනවා. තාත්තා තුන්වැනියා. තාත්තාගේ මවුපියන් වී ගොවිතැනින් තමා ජීවත් වෙලා තියෙන්නේ.
ඒ හඬ මාවනැල්ල ලෝල්වේගොඩ වත්තේ පදිංචිව සිටි මීට වසර දහයකට පෙර මියගිය කිරිඅප්පු මහතාගේ බාල දියණිගේය. ඇය එම්.ජී. කල්‍යානි කුසුමලතාය.
කිරිඅප්පු නයිදේ සහ කිරිඑතනා මංගල ඡායාරූපය |
අකුරු ශාස්ත‍්‍රයෙන් පරතෙරට නොගියත් ඔහු හැබෑම උත්සාහවන්තයෙක් විය. යෞවනයට පැමිණි කල ඔහු ගලිගමුව අඹන්පිටිය තේවත්තේ තිබුණු කර්මාන්ත ශාලාවේ රැකියාවට ගියේය.
ඒ ඉලන්දාරියා තේ කම්හලේ රැකියාව කරමින් සිටි දවසකි. අසල තේ කඩයකට ගියේ තේ කෝප්පයක් බී පවස නිවා ගන්නටය. එතැනට ලොතරැයි පත් විකුණන්නකු පැමිණියේය. එතැන සිටි කීප දෙනෙක්ම ලොතරැයිපත් මිලට ගනිද්දී කිරිඅප්පු ද ශත පනහක් දී ටිකට්පතක් ගත්තේය. ශත පනහක් දී ගත් ලොතරැුයිය හවස නිවෙසට පැමිණි කිරි අප්පු වඩා පරෙස්සමට සඟවා තැබුවේ බිත්තියේ තිබූ ගෝනඅංතට්ටුව ඇතුළතය.
ආරෝග්‍යශාලා ලොතරැයි පතේ පළමු දිනුම ඇදිලා තියෙන්නේ ගලිගමුවට. දින කිහිපයක් ඇවෑමෙන් තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන පුද්ගලයෙක් කිරිඅප්පු සමඟ ලද ඇසිල්ලෙක පැවසුවේය.
එහෙත් ඒ වාසනාවන්තයා තමා යැයි ඒ මොහොතේ කිරි අප්පු ඉලන්දාරියාට නොසිතෙන්නට ඇත.
තාත්තා කොහොම නමුත් ඊට පහුවදා කෑගල්ලේ එවකට ප‍්‍රධාන ලොතරැයි අලෙවි නියෝජිතවරයාව නිව්සිටි ස්ටෝර්ස්හි ඞී.බී.එස්. ද සිල්වා මහත්තයා ළඟට ගිහින් ලොතරැයිය ගැන කරුණු කාරණා විමසලා තියෙනවා.
”මේ ටිකට්පත අපේ එකක්. ප‍්‍රථම දිනුම ඔබතුමාට වැටිලා.”
සවන් අදහාගත නොහැකිවූවා නම් ඒ පුද්මයක් නොවේ. සියල්ලෝම ඒ පුවතින් සතුටට පත්වූහ.
ඊට පසුව දවසක තාත්තා ආපේ සීයත් එක්ක කොළඹ ගිහිින් ඒ මුදල අරගෙන තියෙනවා. තාත්තා හිතලා තියෙන්නේ සත පහක්වත් නැති නාස්ති නොකර ඒ මුදලින් අනාගතය ගොඩනංවා ගන්න.
ගලිගමුව බිසෝවෙල ප‍්‍රදේශයේ ගොඩමඩ ඉඩම් කිහිපයක් තාත්තා මිලට අරන් තියෙනවා. 1957 දී මාවනැල්ල ලෝල්වේගොඩ වත්තෙන් ගොඩඅක්කර 18 කුත්, මඩඅක්කර දෙකකුත් තාත්තා අරගෙන තියෙන්නේ රුපියල් 45,000 ක මුදලකට ඒ වගේම තාත්තා මෝටර් රථයකුත් මිලට අරගෙන. ඔය කාලේ තාත්තාගේ පිංතූරයක් සමග විස්තරයකත් ”ලංකාදීප” පත්තරයේ පළවෙලා. ඔය විස්තරයයි පිංතූරයයි දැකලා තියෙනවා අපේ සීයාගේ ළඟම හිතවතෙක්.
කිරි අප්පුගේ කල වයසත් හොඳා. කල දවසවත් හොඳා. එහෙව් එකේ මනමාලියක් කතා කරමුද? හිතවතාගේ හඬට කිරිඅප්පුගේ පියාද සවන් දුන්නේය.
කිරි අප්පු පුංචි එතනා තම කුලවමිය ලෙස කැන්ඳාගෙන ආවේ යෝජනා වූ මඟුල් තීන්දුවක් අනුවය.
තාත්තා වාහන පදවන්න ඉගෙන ගෙන තියෙන්නේ මෝ්ටර්රථය ගන්නත් ඉස්සර. තාත්තා හරි ධෛර්යවන්තයි.
තාත්තා ඒ කාලයේ දවසක තනියම කාර් එකත් පදවගෙන අම්මව බලන්න මාවනැල්ල හෙම්මාතගම අම්මා හිටිය ගමට ගිහින්. ඒ වෙලාවේ නම් අම්මා තාත්තාට මනාප වෙලා නෑ. හේතුව තාත්තා දුරට ඉගෙන ගෙන නොතිබුණ නිසා. අම්මා හොඳ අධ්‍යාපනයක් ලබලා රජයේ රස්සාවක් කරන්නයි බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ. අම්මාට හොඳට ඉංග‍්‍රීසිත් පුළුවන්.
එහෙත් තම දියණිය රජයේ රැකියාවක් කරමින් ජීවිතය වෙනුවෙන් වෙහෙසෙනවාට වඩා මිල මුදල් යාන වාහන ඉඩකඩම් යහමින් ඇති සල්ලිකාරයකු හා දීග යනු දකින්නට ඇගේ මව්පියෝ කැමති වූහ. මව්පිය අණට පිටු නොපෑ දියණියද රජයේ රැකියාව ගැන බලාපොරොත්තුව හැරදා කිරිඅප්පු සමඟ කරකාරෙට යන්නට සූදානම් වූවාය. 1959 ඔක්තෝබර් 21 වැනිදා කිරිඅප්පු පුංචි එතනා අතිනත ගත්තේ ඒ අනුවය.
ඒ මඟුල් ගෙදර දින හතරක් තිස්සේම පැවැති ජය මඟුලක් විය. රබන් හඬින් ගලිගමුව බිසෝවෙල ගම්මානයම ඇළලී ගියේය. ජය මඟුලේ කැවුම්, කොකිස් රස නොබැලූ අයෙක් ගමේ නැති තරම් විය.
අම්මා ඒ දවසවල හරිම ලස්සනයිලූ. පහතරට විදියට සැරසී සිටිය ලස්සන මනමාලිව බලන්න ගමේ අය එදා තාත්තාගේ ගෙදරට ඇවිත්. මාසයක් විතර ගෙදර ඉද්දී අම්මා තාත්තාට කියලා මේ ගෙදර ඔයාගේ සහෝරද සහෝදරයෝ හුඟක් ඉන්න නිසා අපි මාවනැල්ල අරණායක පාරේ ගත්ත ඉඩමේ පදිංචියට යමු කියලා. තාත්තාත් කැමති වෙලා. ඒ වෙද්දීත් ඒ ඉඩමේ පැරණි ගෙයක් තිබිලා. ඒ ගෙරද පදිංචි වෙලා ඉද්දී තමයි අපි මේ අද ඉන්න ගෙදර තාත්තා හදලා තියෙන්නේ. දවසක් තාත්තා කීවා ඒ ගේහදන්න රුපියල් 5000 ක් වියදම් වුණා කියලා. ඒ ගේ හදන්න අම්මාගේ මවුපියන් වගේම මල්ලිත් හුඟාත් උදවු වෙලා තියෙනවා.
අම්මාවත්, තාත්තාවත් රැකියාවක් කරලා නෑ. වතුපිටි කුඹුරුවලින් වගේම ගත්ත කාර්එක කුලී ගමන්වලට දීලා තාත්තා හොඳ ආදායමක් උපයාගෙන තියෙනවා. ඒ කාලේ අද වගේ මෝටර් රථ තිබිලා නෑ. ගමේ හැම මඟුල් ගෙදරකටම වගේ අරන් ගිහින් තියෙන්නේ තාත්තාගේ මෝටර් රථය.
තාත්තා හොඳට ඉගෙන ගත්තේ නැති වුණාට අපට හොඳින් ඉගැන්නුවා. මගේ අයියා දැනට ජීවතුන් අතර නෑ. මාත් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කළා. ඒත් භීෂණ සමයේ වැඩ වර්ජනයක් නිසා මට මගේ රැකියාව අහිමි වුණා. තාත්තා ජීවත්ව ඉද්දී අම්මටත් අපටත් ඉඩකඩම් ලියා දුන්නා. තාත්තා එදා අක්කර 20 ක් ගත්තේ රුපියල් 45,000 කට. අදඒ පර්චස් එකක් රුපියල් ලක්‍ෂ 4 කට ඉල්ලනවා. ඒත් රුපියල් ලක්‍ෂ හතරේ ඒවාට වඩා අපට අපේ තාත්තා අපි වෙනුවෙන් දායාද කළ දේ වටිනවා. ඒ නිසා අපි ඒ ඉඩකඩම් රැක ගන්නවා.
2003 අප්‍රේල් 29 වැනිදා කිරිඅප්පු මහතා මෙලොවින් සමු ගත්තේය. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 72 කි.
කළ්‍යානි කුසුමලතා මහත්මිය දැනට පදිංචිව සිටින නිවස |
තාත්තට ඒ කාලයේ මිනිස්සු කීවේ ස්විප් මුදලාලි කියලා. අපි ජීවත් වෙන වත්තට කීවේ ස්වප් වත්ත කියලා. අම්මාගේ වයස දැන් අවුරුදු 77 යි. අම්මා නිරෝගීව සතුටින් ඉන්නවා. 1995 දී මමයි අම්මයි දඹදිව වන්දනාවෙත් ගිහින් ආවා. වත්තේ තියෙන පොල්, පුවක්, කෙසෙල්වලින් අපට හොඳට ජීවත් වෙන්න ඇති තරම් ආදායමක් ලැබෙනවා. අපි අදටත් හොඳින් ජීවත් වෙන්නේ අකුරු ඉගෙන නොගත්තත් තාත්තා දුර දිග බලලා වැඩ කරපු නිසා.
සැබැවින්ම ඔහු පරමාදර්ශී පුද්ගලයෙකි. ඇගේ වචන එයට ඇති හොඳම සාක්‍ෂියයි.
0 comments:
Post a Comment