Sunday 29, Dec 2024

728x90 AdSpace

tv
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 19 March 2014

Anonymous එෆ්. එම්. සේවාවල හවස්‌ යාමය අරක්‌ ගෙන ඇති "භයානක" විහිළු කරන වයසක බාප්පලා


ඔහු 1996 දී දරුණු හෘදයාබාධයකට ලක්‌ව ශල්‍යකර්මයකට පවා භාජන විය. ඉන් පසු ඔහු ගෙව්වේ නිහඬ ජීවිතයකි. ඔහුගේ දිවියේ අවසන් කාලයේ එච්. ඩී. විජයදාස උන්නාද මළාදැයි සෙවීමටවත් කිසිවෙකු සිටියේ නැත. බණ්‌ඩාරනායක පරපුරෙන් කිරි කට කෑ කුරහන් සමාගම බලයේ සිටියද ඒ කිසිවෙකුට විජයදාස ගැන වගක්‌ නොවේ. ඔහුට අවශ්‍ය කිසිදු රාජ්‍ය අනුග්‍රහයක්‌ ලැබුනේ නැත.

නමුත් එච්. ඩී. විජයදාස නාමය මෙරට ගුවන් විදුලිය පවතින තාක්‌ කල් ගුවන් විදුලි ඉතිහාසය පුරා රැව් පිලිරැව් දෙන නාමයකි. වත්මන් පරපුර විජයදාස ගැන නොදත්ත ද ඔහු වෙනුවෙන් කළ හැකි ඔහු ජීවමාන කළ හැකි එකම පියවර ගුවන් විදුලිය මගින් ඔහුගේ විකට වැඩසටහන් නැවත නැවත ප්‍රචාරය කිරීමයි.

වත්මන් එෆ්. එම්. සේවාවල හවස්‌ යාමය අරක්‌ ගෙන ඇති "භයානක" විහිළු කරන වයසක බාප්පලා නිතැතින් අධ්‍යය නය කළ යුතු චරිතයක්‌ වන්නේ එච්. ඩී. විඡේදාසයන් ය.
බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ මුල්ම කතාව

ගුවන් විදුලියේ කඩාකප්පල්කාරීන්ගෙන්
රැකගත් එච්. ඩී. විඡේදාස

ඩී. බී. ධනපාලට ගහන්න ආ කැලණියේ චණ්‌ඩින්ට "එලව එලවා" ගහපු චීනඩිකාරයා

1956 අප්‍රේල් මාසයේ අගමැති ධුරයට පත් බණ්‌ඩාරනායක මහතා හා හා පුරා කියා දළදා වඳින්නට යැම ප්‍රවෘත්තිමය වශයෙන් ඉතාම වැදගත් එකක්‌ විය. බණ්‌ඩාරනායක මහතා පත්තිරිප්පුවට නැග කතා කරන්නට සූදානම් විය. නමුත් ජාතික ගුවන් විදුලිය එය ප්‍රචාරය කරන්නට නම් කිසිදු සූදානමක්‌ තිබුණේ නැත. එම වකවානුවේ ගුවන් විදුලියේ පැවැති නිලධාරී වාදය කොතරම් බලගතු ද කිවහොත් වාහන පහසුකම් උපකරණ ආදිය නැති බව දන්වමින් අගමැතිතුමාගේ කතාව ප්‍රචාරය වීම වැළැක්‌වීම කඩාකප්පල් කිරීමට තරම් නිලධාරිවාදය බලගතුව අගමැතිවරයකුටවත් අවනත නොවන තත්ත්වයේ විය.

නමුත් පත්තිරිප්පුවේදී බණ්‌ඩාරනායක අගමැතිවරයා කතා කරන්නට නැගී සිටි විටම සිදු වූයේ කුමක්‌ද?

එකල මෙකල මෙන් බුරුතු පිටින් ගුවන් විදුලි සේවා තිබුණේ නැත. තිබුණු එකම ගුවන් විදුලිය ආණ්‌ඩුවේ එකය. නමුත් තමන්ට ගුවන් විදුලියෙන් මයික්‍රෆොනයක්‌ තබා නැති බව බණ්‌ඩාරනායකට ඒත්තු ගියේ එවිටය. හිටි අඩියේ සෙනඟ අතරින් ආ දෙදෙනකි. එකකු අත මයික්‍රෆොනය සහ රෙකෝඩරයකි. අනෙකා අත තඩි කාර් බැටරියකි. අගමැති අසලට පැමිණි මයික්‍රෆොනය අතැති තරුණයා එය රැඳවීමට තැනක්‌ ඇත්දැයි අගමැතිතුමාගේ ඉදිරිපිට තැනක්‌ සොයන්නට විය. අගමැතිතුමා කතාව අරඹන්නට සැරසෙන විට මයික්‍රෆොනය අටවා ගන්නට තැනක්‌ සොයා ගත නොහැකි තැන මයික්‍රෆොනය අතැති තරුණයා අගමැතිතුමා දෙස බලා බයාදු ලෙස මෙවැනි ඉල්ලීමක්‌ කළේය.

"සර් මේක පොඩ්ඩක්‌ අල්ලා ගන්නවාද?"

බණ්‌ඩාරනායක කට කොනින් සිනාවක්‌ පා මයික්‍රෆොනය අල්ලාගෙන කතාව පටන් ගෙන අවසන් වන තුරුම මයික්‍රෆොනය අල්ලාගෙන කතාව කළේය.

අගමැතිතුමාගේ කතාව අවසන් වූ සැනින් එම ගුවන් විදුලි ශිල්පියා රෙකෝඩරය සමඟ එක හැල්මේ කොළඹ ආවේ ගුවන් විදුලියේ අධ්‍යක්‍ෂ එම්. ඡේ. පෙරේරා හමුවීමටය.

සියලු කඩාකප්පල්කාරීන් අවඥාවට ලක්‌ කරමින් අගමැතිතුමාගේ පත්තිරිප්පුවේ සිට කළ කතාව ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන ලදී. පසුදින "මයික්‍රෆොනයෙන් තරුණයා" තම කාමරයට ගෙන්වූ එම්. ඡේ. පෙරේරා ඔහු එම කළ ඒ ප්‍රවෘත්ති සංදර්ශනය සඳහා වූ රු. 30/- දීමනාව රු. 60/} දක්‌වා වැඩි කිරිමට උපදෙස්‌ දුන්නේය.

බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ ඓතිහාසික පත්තිරිප්පු කතාව රැකදුන් මේ තරුණයා කවුද? ඔහු නමින් හෙයියන්තුඩුවගේ දොන් විඡේදාස ය. කාටත් තේරෙන ලෙස කිවහොත් ගුවන් විදුලියේ විකට රජා එච්. ඩී. විජයදාසය.

විජයදාස පටිගත කිරීම සඳහා කාර් බැටරියක්‌ සහ එය ඔසවාගෙන යැමට මිතුරෙකු ද සමඟ පත්තිරිප්පුවට යැමේ රසවත් කතාවක්‌ ද ඇත. එකල පටිගත කරන යන්ත්‍ර බැටරි දැමූ විට පටිගත කර ගත හැකි වූයේ විනාඩි හයක්‌ පමණි. කතාවක්‌ පටිගත කර ගැනීමට හැකි වූයේ කාර් බැටරියක්‌ ආධාරයෙන් පමණි.

විඡේදාස උපන්නේ 1925 දී හෙයියන්තුඩුවේදී ය. ලී වෙළෙන්දකු වූ විඡේදාසගේ පියා ඔහුව මුලින් ඇරියේ හෙයියන්තුඩුවේ ආණ්‌ඩුවේ ඉස්‌කොලෙටය. තාත්තාගේ ලී සාප්පුව තිබුණේ පෑලියගොඩය. අවුරුදු දාසයේදී තාත්තාගේ අතේ එල්ලී කොළඹ ගෙන්දගම් පොළව පෑගූ විජයදාස ඊළඟට අකුරු කළේ විද්‍යාලංකාර පිරිවෙනේ ය. එහිදී යක්‌කඩුවේ ප්‍රඥාරාම සහ කොටහේනේ පඤ්ඤකීර්ති ආදී හිමිවරුන් විජයදාසගේ ගුරු උතුමන් විය. විජයදාස ඊළඟට අකුරු කරවූයේ ඩී. බී. ධනපාල ප්‍රින්සිපල් මහතාගේ කැලණියේ ධර්මාලෝක විදුහලෙනි. එය විද්‍යාලංකාර පිරිවෙනේම කොටසකි. ධර්මපාල ජයවීර ධර්මාලෝකයේ හොඳම කතිකයා වුවද විජයදාස ඔහු පරයන තරම් කුසලතා සමූහයකින් සමන්විත වූ බව නොකියාම බැරිය.

හේනගේ සැමුවෙල් රොද්‍රිගෝ ධර්මසිරි ජයකොඩි, ප්‍රින්ස්‌ ගුණසේකර, රත්න දේශප්‍රිය, විජයදාසගේ සමකාලීන පාසල් මිතුරන්ය. මේ අතරින් ධර්මපාල ජයවීර අවුරුදු 18 දී ලේක්‌හවුසියේ ප්‍රවෘත්ති කර්තෘ කමට පත්විය.

එක්‌දහස්‌ නවසිය හතළිස්‌ ගණන්වල භික්‍ෂු දේශපාලනය ඇරඹෙන්නේ විද්‍යාලංකාර බලවේගය හරහාය. යක්‌කඩුවේ ප්‍රඥරාම, වල්පොළ රාහුල, කොටහේනේ පඤ්ඤකීර්ති සහ නාත්තන්ඩියේ ප්‍රඥාසාර සමඟ එක්‌ වූ විජයදාස අධිරාජ්‍යවාදී බලවේගවලට එරෙහිව මනසින් පමණක්‌ නොව අතින් පයින් ද සටන් කළ විරුවෙකි. විජයදාස නොවන්නට අද අප මහ ඉහළින් සලකන මහා පත්‍ර කලාගුරු ඩී. බී. ධනපාලයන්ගේ ලංකාදීප, දවස, රිවිරැස ආදී කිසිදු පුවත්පතක්‌ අපට දැක ගත හැකි වන්නේ නැත.

කැලණියේ ඉතිහාසය හාරා අවුස්‌සන විට එය චන්ඩීන්ගේ ද රජදහනක්‌ වූ බව ඉතිහාසය සාක්‍ෂි දරයි. වෙනසකට ඇත්තේ එකල චන්ඩීන්ට ආචාර්ය උපාධියක්‌ නොමැති වීමය. කැලණියේ මේ චන්ඩීන් බොහෝවිට මැදිහත් වී ඇත්තේ ජාතික වැදගත්කමක්‌ ඇති ප්‍රශ්නවලදී බැවින් එකල චන්ඩීන් තත්ත්වයක්‌ ඇති චන්ඩීන් ද විය. මෙකල චන්ඩීන් මෙන් "කැලණි පංසලේ හූ කීම්, බලපත්‍ර සහිත බාර් වසා කප්පම් එකතුකිරීම් වැනි විහිළු සැපයීමට තරම් එකල කැලණියේ චණ්‌ඩීන් තත්ත්වයෙන් බාල වූයේ නැත.

භික්‍ෂු දේශපාලන සටනේදී ධර්මාලෝක විදුහල්පති ඩී. බී. ධනපාලයන්ට පහරදීමට ආ කැලණියේ චන්ඩීන්ට එලව එලවා පහර දුන්නේ අපේ මේ විජයදාස ය. පලපුරුදු චීනඩිකාරයකු වූ විජයදාස ධනපාලයන්ගෙන් නොනැවතී එතුමාගේ බිරිඳ වූ රතී ධනපාලයන් සංවිධානය කළ "ඔහොම තමා" නාට්‍යයේ "ගධානාත්" නම් ප්‍රධාන චරිතයට පණ පෙව්වේය. එහි පිටපත මකුලොලුවගෙනි. පණිභාරත නැටුම් මාස්‌ටර් විය.

"නරි අඟ" විජයදාස රඟපෑ තවත් විකට නාට්‍යයකි. කුලසිංහ ද ලැනරෝල් එහි පිටපත සැකසූ අතර "රූබන් කංකානම්" නම් ප්‍රධාන චරිතය විජයදාස විය. පසුව විජයදාස රූබන් කංකානම නමින් ලංකාදීපයට විහිළු කතා සපයන්නෙකු බවට පත් විය. නමුත් රූබන් කංකානම යනු කවරෙක්‌දැයි කිසිවකු දැන සිටියේ නැත. එමෙන්ම නවසිය පනස්‌ ගණන්වලදී ලංකාදීපයේ "විනෝදාවලිය" නම් අති ජනප්‍රිය විකට අතිරේකය ද විජයදාසගේ රජ වැඩකි.

විජයදාසගේ විකට ශිල්පය වඩ වඩාත් ඔප්නන්වාගන්නට එවකට විකට රජා වූ එඩී ගේ "කුහකකම" ද වඩාත් පිටිවහලක්‌ විය. ධර්මාලෝක විදුහලේ අරමුදලට ආධාර පිණිස එඩී ජයමාන්න සංදර්ශනයට ගෙන්වීමට ඩී. බී. ධනපාල විදුහල්පතිගේ තීරණය විය. එඩීට ආරාධනා කරන්නට ගියේ විජයදාස ඇතුළු පිරිසකි. එඩී එක අංගයකට රුපියල් එක්‌දහස්‌ පන්සියය බැගින් මුදලක්‌ විජයදාස ඇතුළු පිරිසගෙන් ඉල්ලන්ට විය. එය අද වන විට රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලකි. තමන් පාසල් සිසුන් ලෙස ගාන අඩු කරන ලෙස විජයදාස ඇතුළු පිරිස එඩී ඉදිරියේ බැගෑපත් විය.

"ගාන අඩු කරන විට විහිලුත් අඩු කරන්නට වෙනවා" යි එඩීගේ පිළිතුර විය.

බලාපොරොත්තු කඩකරගත් විජයදාස ඇතුළු පිරිස ධනපාල මුල් ගුරුතුමාට තත්ත්වය පැහැදිලි කරන්නට විය. "ඇයි විජයදාසට බැරි විහිළු අංගයක්‌ ඉදිරිපත් කරන්නට" යෑයි ධනපාල මහතා විඡේදාසගෙන් ඇසුවේ ඔහු සමඟ සිටි පිරිස සිනා ගස්‌වමිනි. කෝ එඩීගේ ටෙලිෆොන් නොම්බරේ හොයා ගන්න මගේ කන්නාඩිය? යි කියමින් ධනපාල මහතා කන්නාඩි කුට්‌ටම සොයන්නට විය.

"සර් ඔය කන්නාඩි කුට්‌ටම නළලේ" යි විජයදාස පැවසු විට ධනපාලයන්ට ද සිනා නොවී බැරිවිය. තමාගේ නළලේ කන්නාඩිය රුවාගෙන කන්නාඩිය සොයන ධනපාල මහතාගේ මේ ක්‍රියා විජයදාස ඇතුළු පිරිසට රසවත් අත්දැකීමක්‌ විය.

විද්‍යාලෝක සංදර්ශනයේදී එඩීගේ විහිළු අංග තුනක්‌ විය. නමුත් ඒ සියල්ල පරදමින් එච්. ඩී. විජයදාසගේ විහිළු අංග රජයන්නට විය.

විජයදාස මුලින්ම ගුවන් විදුලියට සම්බන්ධ වූයේ නිවේදකයකු ලෙස ය. එඩී ජයමාන්න, එඩී යාපා, ජෝසප් සෙනවිරත්න, ජෙසෙන්ති පෙරේරා. හැරියට්‌ සුරවීර, වින්සන්ට්‌ වීරසේන ආදී එවකට විහිළු වැඩසටහන් සම්පාදකයන් ය. සිසිර කුමාර මානික්‌කආරච්චි ද මේ වල්ලේම විහිළුකාරයකු වූ බව අද බොහෝ දෙනෙක්‌ නොදනිති. එකල නමින් "විහිළු" වැඩසටහන් වුවද ඔවුන්ගේ ප්‍රධාන තේමාව ආලය සහ ගෑනු ආදියෙන් ඔබ්බට ගියේ නැත. මේ ගැන විජයදාස සිටියේ කලකිරීමෙනි.

එවකට ගුවන් විදුලියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් එම්. ඡේ. පෙරේරා ය. වින්සන්ට්‌ වීරසේකරට දිනක්‌ විහිළු වැඩසටහනක්‌ කරන්නට තිබියදී ඔහු නොපැමිණෙන බවට අධ්‍යක්‍ෂ ජෙනරාල්ට වැටහී මහත් අපහසුතාවකට පත්විය. අද මෙන් එකල තැටි කපා රැකෝඩ් ගැසුවේ නැත. සින්දු වැඩසටහන්, විහිළු, බණ ඔක්‌කෝම සජීවී විය. දවස්‌ තුන හතර සංස්‌කරණය කළ ගීත එදා තිබුණේ නැත. කිව්වොත් කිව්වාම ය. ඉහින් කණින් දාඩිය දාගත් වැඩසටහන් නිෂ්පාදක පී. වැලිකළ වහාම එම්. ඡේ. පෙරේරා හමුවී කීවේ විජයදාසට වැඩසටහන කරන්න පවරා තම රැකියාව රැකදෙන ලෙසය. කිසිදු පෙර සූදානමක්‌ නැතිව විජයදාස මයික්‍රෆොනය ගෙන මුළු රටම හිනැස්‌සුවේය. ගුවන් විදුලියේ සියලු ශිල්පීන්ගේ විහිළු පරයමින් ගුවන් විදුලි මාධ්‍යයේ විජයදාසගේ විහිළු රජයන්නට විය.

පනස්‌ හයේ බණ්‌ඩාරනායක රජ වූ පසු ඔහු එදින උදැසන කිරිබත් කෑවේ ටොප් හැට්‌ හැඳ හැඳි ගෑරුප්පුවලිනි. සිංහලයා රජ කරන්නට පාරම් බෑ බණ්‌ඩාරනායකගේ මේ විගඩම සිසිර කුමාර මානික්‌කආරච්චිගේ පොතක ද පතුරු ගසා ඇත. නමුත් මේ සිද්ධිය පතුරු ගසන්නට ගියේ විජයදාස නොවේ. රදලයන් හා කළු සුද්දන් සිංහල සංස්‌කෘතියත් බටහිර සංස්‌කෘතියත් එකම වට්‌ටියේ දමාගෙන අනාගෙන කෑමේ අමන පිළිවෙත ගැන විජයදාස සිටියේ දැඩි අමනාපයෙනි. සභ්‍යත්වය, සංස්‌කෘතිය ශිෂ්ටාචාරය නමින් විහිළු වැඩසටහනක්‌ විජයදාස වහා ප්‍රචාරය කර හැරියේය. බණ්‌ඩාරනායකගේ කිරිබත් නාටකයෙන් හෙම්බත් වූ ජනතාවට විජයදාසගේ විහිළු වැඩසටහන අසා බඩ අල්ලාගෙන සිනාසෙන්නට විය. බඩ අල්ලා ගැනීම කොතරම් බලවත් වී ද යත් ඊට පසුදින විජයදාස ගේ බඩට පහර වැදිනි. විජයදාස ගුවන් විදුලියෙන් එළියට විසිවෙන්නට තරම් වැඩසටහන බලවත් විය.

එච්. ඩී. විජයදාස ගැන ලිපියක්‌ ලිවීමට මා ඔහු හමුවූයේ පැලවත්ත පහළවෙල පාරේ ඔහුගේ දියණියගේ නිවසේ ය. එවකට ඔහු හදවත් සැත්කමකට ලක්‌කොට විවේක ගනිමින් සිටියේය.

"මාව විකට වැඩසටහන් නිසා එකොළොස්‌ වතාවක්‌a රස්‌සාවෙන් අස්‌ කළා. මම අවුරුදු විස්‌සක්‌ වැඩසටහන් කළා. හැම ජනප්‍රිය වැඩසටහනක්‌ අවසානයේදීම මට ගෙදර යන්න වුණා. රස්‌සාවෙන් අස්‌කළාම පත්තරවලින් අහනවා කෝ ජයදාස කියලා. ආයෙම මට අඬගහලා රස්‌සාව දෙනවා. රස්‌සාව ඉල්ලලා මම කාගෙවත් පස්‌සේ ගියේ නෑ යි විජයදාස මා සමඟ කීවේ ජයග්‍රාහී ලීලාවෙනි.

විමලා විජයවර්ධන විජයදාසගේ ජොබ් එකට මුලින්ම උදැල්ල දැමූ සද්ධාවන්ත බෞද්ධ උපාසක අම්මන්ඩි විය. සභ්‍යත්වය, සංස්‌කෘතිය, ශිෂ්ටාචාරය වැඩසටහන ඇසූ විජයවර්ධන සැදැහැවත් උපාසිකාව මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි මලක්‌ මෙන්

රැකගත් ආණ්‌ඩුවටත් රටටත් හානි වී ඇතැයි එවකට ගුවන් විදුලි භාර ඇමැති සී. එස්‌. ආර්. මරික්‌කාර් මහතාට කතා කොට "විජයදාසට" මේ උසස්‌වීම ලබාදුනි.

විමලා - මරික්‌කාර් ලවා විජයදාසව උනලා තැබුවද මේ කාරණය බණ්‌ඩාරනායක අගමැතිගේ කනට ද ගියේය. විමලා බුද්ධරක්‌තගේ කනට කර යම් යම් දේ කිව්වද, විජයදාස ගැන බණ්‌ඩාරනායකගේ කනට කර කියුවේ ද විමලා බව පාඨකයන් මෙහිදී නොමග යැම වැළැක්‌වීම මගේ යුතුකමකි.

අගමැතිගේ අණ ලැබුණේ සංස්‌කෘතික ඇමැති ජයවීර කුරුප්පුට ය. වැඩසටහන ඇසූ කුරුප්පු වහාම ඉහළ තැන්වලට රපෝර්තු කළේ විජයදාස ගැන ය. ඒ විඡේදාස නැවතත් සේවයට ගන්නා ලෙස ය. වැඩසටහන අසා බඩ අල්ලන් හිනාවුනු කුරුප්පු "එහි පිටපතක්‌" ගෙන බණ්‌ඩාරනායක ද හමුවිය. කවදත් විහිළු කතා හා රහස්‌ පරීක්‍ෂක කතා කියවීමට දැඩිව ඇලුම් කළ බණ්‌ඩාරනායක පයිප්යේ දුම් උඩ විසිරමින් බඩ අල්ලන් හිනාවෙන්නට විය.

මෙම වැඩසටහනින් තමන්ගේ ආණ්‌ඩුවට කිසිදු හානියක්‌ නැතැයි කියූ බණ්‌ඩාරනායක කුරුප්පුට කිව්වේ "තැන්ක්‌යූ රිපීට්‌ දිස්‌ ප්‍රොaග්‍රෑම්" නමැති රෙකමදාරුව පමණි.

මේ වන විට ගුවන් විදුලියේ ජනප්‍රියම වැඩසටහන වූයේ දේශපාලන නායකයන්ගේ කතා විලාසය අනුකරණය කරමින් විජයදාස කළ වැඩසටහනයි. බණ්‌ඩාරනායක, ඩී. ඇස්‌. සේනානායක, ඡේ. ආර්. ජයවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, සර් ජෝන් කොතලාවල වැනි නායකයන්ගේ කතා විලාසය එපරිද්දෙන් ම අනුකරණය කරමින් කළ උපහාසාත්මක වැඩසටහන එකල ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ විය.

ඇනස්‌ලි, බර්ටි, සැමුවෙල් ත්‍රිත්වයේ එච්. ඩී. විජයදාසගේ විහිළු තහළු මුලින්ම ප්‍රචාරය වී ඇත්තේ 1952 සැප්තැම්බර් 15 වැනිදා ය. මුල්ම වැඩසටහනේ නම වූයේ "ඉස්‌කෝලයක්‌" ය. ඇල්ෆ්ර්ඩ් පෙරේරා, ස්‌වර්ණ ශ්‍රී සරත්වීර, එච්. ඩී. බස්‌නායක, ද ඊට සම්බන්ධ විය. එච්. ඩී. විජයදාස 1956 දී ප්‍රවෘත්ති නිලධාරියකු ලෙස ගුවන් විදුලිsයෙන් නික්‌ම ගිය විටදී විහිළු තහළු බාර වුණේ ඇල්ෆ්ර්ඩ් පෙරේරාට ය. ඉන් පසු එය ප්‍රචාරය වූයේ විනෝද සමය නමිනි.

විහිළු තහළු කරන අතර විජයදාසට බුරුම රජයේ ශිෂ්‍යත්වයකට මාස තුනකට යැමට සිදුවිය. විජයදාස කළේ මාස තුනකට පිරිමහින ලෙස වැඩසටහන් රැකෝඩ් කර තබා බුරුම ශිෂ්‍යත්වයට යැමයි. විජයදාස ලංකාවේ නැතත් මාසයක්‌ පමණ විහිළු තහළු නොකඩවා ප්‍රචාරය විය.

නමුත් හිටි අඩියේ ඉදිරි මාසය සඳහා ප්‍රචාරයට තබා තිබූ තැටි බැලූ වැඩසටහන් බාර නිලධාරියාට පෙනී ගියේ ඒවා ප්‍රචාරය කළ නොහැකි තත්ත්වයට උසස්‌ කොට ඇති බවයි. ජනප්‍රිය වැඩසටහන් තැටිවල සත පහෙන් හූරා අඩපණ කිරීමේ ගුවන් විදුලියේ රාජතාන්ත්‍රික ප්‍රතිපත්තිය නිසා තම විහිළු තහළු වැඩසටහන අඩපණව ඇති බව විජයදාස සිටි බුරුමයට දැන ගන්නට ලැබුනේ මේ අතරය. බුරුම රජය ලවා ශිෂ්‍යත්වය වහා අවලංගු කරගත් විජයදාස වහා ලංකාවට පැමිණියේය. හොරු මකාපු සියලුම වැඩසටහන් විජයදාස නැවතත් පණ ගන්වා

රැකෝඩ් තැටිවල කවා නොනවත්වා "විහිළු තහළු" ප්‍රචාරය කළේය.

"මම මගේ ශිෂ්‍යත්වයට වැඩිය මිනිසුන්ට පොරොන්දු වෙලා හිටිය වැඩසටහනට ආදරය කළා." යෑයි විජයදාස මා සමඟ පවසා සිටියේ දැඩි හැඟීම් බරවය.

මේ ලිපිය කියවීමේදී එච් ඩී. විජයදාස යනු නිකම්ම නිකං විහිළුකාරයකු පමණක්‌ යෑයි සිතා පාඨක ඔබ නොමගට යෑම වැළැක්‌වීම ද මගේ යුතුකමකි.

එච්. ඩී. විජයදාස ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරියකු ගුවන් විදුලි නිවේදකයකු හා වැඩසටහන් සම්පාදකවරයෙක්‌ ආදී තනතුරු ගණනාවක්‌ දැරු රජයේ සේවකයෙකි.

ඔහු 1996 දී දරුණු හෘදයාබාධයකට ලක්‌ව ශල්‍යකර්මයකට පවා භාජන විය. ඉන් පසු ඔහු ගෙව්වේ නිහඬ ජීවිතයකි. ඔහුගේ දිවියේ අවසන් කාලයේ එච්. ඩී. විජයදාස උන්නාද මළාදැයි සෙවීමටවත් කිසිවෙකු සිටියේ නැත. බණ්‌ඩාරනායක පරපුරෙන් කිරි කට කෑ කුරහන් සමාගම බලයේ සිටියද ඒ කිසිවෙකුට විජයදාස ගැන වගක්‌ නොවේ. ඔහුට අවශ්‍ය කිසිදු රාජ්‍ය අනුග්‍රහයක්‌ ලැබුනේ නැත.

නමුත් එච්. ඩී. විජයදාස නාමය මෙරට ගුවන් විදුලිය පවතින තාක්‌ කල් ගුවන් විදුලි ඉතිහාසය පුරා රැව් පිලිරැව් දෙන නාමයකි. වත්මන් පරපුර විජයදාස ගැන නොදත්ත ද ඔහු වෙනුවෙන් කළ හැකි ඔහු ජීවමාන කළ හැකි එකම පියවර ගුවන් විදුලිය මගින් ඔහුගේ විකට වැඩසටහන් නැවත නැවත ප්‍රචාරය කිරීමයි.

වත්මන් එෆ්. එම්. සේවාවල හවස්‌ යාමය අරක්‌ ගෙන ඇති "භයානක" විහිළු කරන වයසක බාප්පලා නිතැතින් අධ්‍යය නය කළ යුතු චරිතයක්‌ වන්නේ එච්. ඩී. විඡේදාසයන් ය.

වජිර ලියනගේ
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: එෆ්. එම්. සේවාවල හවස්‌ යාමය අරක්‌ ගෙන ඇති "භයානක" විහිළු කරන වයසක බාප්පලා Rating: 5 Reviewed By: Unknown