විදේශ මුදල් රුපියල් කෝටි 32 කට ආසන්න මුදලක් විනිමය පනත උල්ලංඝනය වන පරිදි සිය ගිණුමේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට එරෙහි නඩුවේ ඇපකරු ඊයේ (24 දා) අධිකරණයේ අවසරය මත ඇපකාරිත්වයෙන් ඉවත් වූයේය.
කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකාර රවි කරුණානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි නිසා රුපියල් ලක්‍ෂයක් වටිනා සිය ඇපකාරිත්වයෙන් ඉල්ලා අස්‌වීමට මෙසේ අවසර ඉල්ලා සිටියේ විත්තිකරු යටතේ සේවය කර ඉවත් කර ඇති කරුණාපාල ද සිල්වා නමැති අයයි. නීතිඥ සේනක පෙරේරා මහතා මගින් ඉල්ලීම කළ ඇපකරු සිය සේවාදායකයා විත්තිකරු යටතේ සේවය කර ඉවත් කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව කම්කරු විනිශ්චය සභාවේ නඩුවක් විභාග වන හෙයින් විත්තිකරු කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි නිසා තවදුරටත් ඔහු වෙනුවෙන් ඇපකරු ලෙස ඉදිරිපත් නොවන බවත් ඇපකාරිත්වයෙන් ඉවත්වීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බවත් කියා සිටියේය. ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත්වූ විනිසුරුවරිය ඇපකරුට විත්තිකරුගේ ඇපකාරිත්වයෙන් ඉවත්වීමට අවසර ලබාදෙමින් විත්තිකරුට නව ඇපකරුවෙක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය. ඒ අනුව විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරු පිළිගත් අධිකරණය ඔහු ඇපකරයට අත්සන් තබන තෙක් විත්තිකරු රඳවා තබාගෙන මුදාහරින ලෙසත් ඇපකරුගේ ග්‍රාමසේවා සහතික ලබන 30 දා ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය. නඩු විභාගය යළි දෙසැම්බර් 6 දා කැඳවීමට නියමිතය. මෙහි විත්තිකරුවන් ලෙස සීමාසහිත කොන්සියා කෝපරේෂන් සමාගම, ලින්ටන් චන්ද්‍රසෝම පියසේන හා රවී කරුණානායක අය නම් කර ඇත්තේය. 2006 දෙසැම්බර් 22 දින හෝ ඊට ආසන්න දිනකදී අනේවාසික පදිංචිකරුවකු වන ගැලිසන් ඉන්ටර්නැෂනල් ග්‍රයිට් සහ සමාගම විසින් ඉන්ටර් නැෂනල් aමාස්‌ටර් µන්ඩ් ආයතනය වෙත එවන ලද ඇමරිකානු ඩොලර් මිලියන එකක මුදලක් හා 2007 ජනවාරි 23 දා හෝ ඊට ආසන්න දිනකදී අනේවාසික පදිංචිකරුවකු වන රාඡ් රත්නම් නමැත්තා එවන ලද ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් විනිමය පාලන පනත උල්ලංඝනය වන පරිදි සිය ගිණුමේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙහි අධිචෝදනා ගොනු කර ඇත්තේය.
0 comments:
Post a Comment