728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 27 June 2013

13 දෙනවද නැද්ද?

ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී මයිකල් අර්වින් ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන අයුරු.

ඉඩම් හා පොලිස්‌ බලතල සමග 13 වන සංශෝධනය දෙන්නේද නැද්ද යන්න බරපතල ප්‍රශ්නය දැන් රජය හමුවේ පවතී. ඇමතිවරු 6 දෙනෙක්‌ පවසන්නේ 13 වන සංශෝධනය දිය යුතු බවයි. මින් එක්‌ ඇමතිවරයෙක්‌ 2003 මැයි මස පාර්ලිමේන්තුවේදී පැවසූවේ කොටි සංවිධානයේ ශක්‌තිය අවක්‍ෂේරු නොකළ යුතු බවයි. තවත් ඇමතිවරයකුගේ අමාත්‍යාංශය විසින් ජර්මනියේ සිට රාජ නායගම් නැමැති බෙදුම්වාදිනිය මෙරටට ගෙන්වනු ලැබීය. මේ අතර ඩිව් ගුණසේකර පවසන්නේ 1983 කළු ජූලිය නිසා ඉන්දියාව අපේ රටට අත ගැසූ බවයි. එහෙත් ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නගරයේ වෙසෙන සින්නදුරේ තිමෙස්‌ මූර්ති අවුරුදු 26 කට පෙර සිදු වූ අභිරහස්‌ ක්‍රියාදාමයක්‌ විශේෂයෙන් හෙළි කරයි. කළු ජූලිය සිදු වීමට පෙර ඉන්දියාව අපේ රටට අත ගැහුවා. සුළි සුළගෙන් පසු කට්‌ටපරිච්චාන්හිදී අපව පුහුණු කළේ ඉන්දියාවයි. 1982 නවදිල්ලියට ගෙන ගිය අපට දෙහෙරදාන් කඳවුරේදී යුධ පුහුණුවක්‌ දුන්නා යෑයි ඊ. පී.එල්. ආර්. එ
ෆ්  සංවිධානයේ පුරෝගාමී ක්‍රීයාකාරීයෙකු වූ සින්න දුරේ හෙළි කළේය.


අද 13 වැනි සංශෝධනය තිබිය යුතු යෑයි හඬ නගන පිරිස්‌ අතීතය දන්නේද? 1987 මැයි 26 වැනිදා එවකට බ්‍රිගේඩියර්වරයෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ප්‍රධානත්වයෙන් දියත් වූ වඩමාරච්චි මෙහෙයුමේ දෙවැනි අදියර වූ යාපනය අල්ලා ගැනීමට සූදානම් වූ අවස්‌ථාවේ එය නතර කළේ ඉන්දියාවයි. 1987 ජුලි 29 වැනිදා අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමෙන් කියා සිටියේ වඩමාරච්චි මෙහෙයුමෙන් අල්ලා ගත් සියලු ප්‍රදේශවලින් ඉවත් වී ශ්‍රී ලංකා හමුදාව තමන් කලින් සිටි තැන්වලට යා යුතු බවයි. මින් සිදු වූයේ මහත් විනාශකාරී තත්ත්වයකි. එසේම තිම්පු සාකච්ඡාවලදි රජය සටන් විරාමයක්‌ සඳහා එකගවිය. එහි ප්‍රතිඵලය වූයේ කොටි හමුදා කඳවුරු සමීපයේ සිය කඳවුරු ඉදි කර ගැනීමයි. මේ පසුබිම යටතේ මෙරට හමුදා කඳවුරුවල භූමිය ඉතාමත් සුළු ප්‍රදේශයකට සීමා විය. එවකට වඩමාරච්චි මෙහෙයුමට සම්බන්ධව සිටි ජෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ පැවසූවේ මුළුතැන්ගෙයි සිට වැසිකිළිය දක්‌වා වූ සුළු ඉඩකඩක්‌ සහිතව හමුදා කඳවුරු පිහිටු වීමට තමන්ට සිදු වු බවයි. රජිව් සහ ඡේ. ආර්. ජයවර්ධන අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමේ එක්‌ වගන්තියක්‌ වූයේ වඩමාරච්චි මෙහෙයුමෙන් අල්ලා ගත් සියලු ප්‍රදේශවලින් හමුදාව ඉවත් විය යුතු බවයි. එසේම 13 වැනි සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය මෙරට ජනතාවට බලෙන් පැටවීමට ඉන්දීය රජය ක්‍රියා කළේය. එම අවස්‌ථාවේදී ප්‍රජාත්‍රන්තවාදය ගැන කිසිවෙකු හඬ නැගුවේ නැත. 13 වැනි සංශෝධනය මේ රටේ ජනතාව ඉන්දියාවෙන් ඉල්ලුවෙත් නැත. එසේ නම් දැන් 13 වැනි සංශෝධනය යළි ක්‍රියාත්මක කළ යුතු යෑයි කියන්නේ මන්ද? ප්‍රභාකරන් සහ ඔහුගේ මිනීමරු කණ්‌ඩායම විනාශ කළ යුතු යෑයි කිසිවෙකු පැවසුවේ නැත. එහෙත් එදා සිටම අපි සෘජුවම සහ නොබියව පැවසුවේ රටේ සාමය ඇති වීමට නම් මේ ඝාතකයා විනාශ කළ යුතු බවයි. එහෙත් දැන් ඝාතකයා නැත. ඉන්දියාව එදා ප්‍රභාකරන් වැල්වැටිතුරේ කොටු වී සිටියදී බේරා ගැනීමට ඉන්දු ලංකා ගිවිසුම අපට බලයෙන් ඇබ්බැහි කරනු ලැබීය. මේ තත්ත්වය යටතේ වසර 26 කට පෙර ශ්‍රී ලංකාවේ ජනතාවගේ කැමැත්තකින් තොරව යොමු කළ 13 වැනි සංශෝධනය දිගින් දිගටම ක්‍රියාත්මක කළ යුතුද? වන්නි මෙහෙයුම දියත් වෙද්දී ඇතැමුන් බලාපොරොත්තු වූයේ රජය ප්‍රභාකරන්ගෙන් ඉල්ලාගෙන කනු ඇතැයි කියාය. එහෙත් වන්නි මෙහෙයුම ජය ගැනීමත් සමගම ප්‍රීති ඝෝෂා නැගීමට විශාල පිරිසක්‌ එක්‌ වූහ. එසේ වුවත් යථාර්ථය සිහිපත් කළ යුතුව තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙරට ජනතාවගෙන් බහුතරය ජන්දය දුන්නේ 13 වන සංශෝධනය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට නොව කොටි සංවිධානය විනාශ කිරීමටය. එම පසුබිම යටතේ කොටි පැරදවිය නොහැකි යෑයි ඇමරිකානු තානාපතිවරයා පවා පවසද්දී ආරක්‍ෂක හමුදා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය විනාශ කළේය. එදා කොළඹට සැතපුම් 250 ක්‌ ඈත කැළයක සිටි ප්‍රභාකරන් මෙරට දේශපාලනය ජාතික ආරක්‍ෂාව සහ දේශපාලකයන් ජීවත්ව සිටිය යුතුද නැද්ද යන්න තීරණය කළේය. කොටි සංවිධානය සමග සාම සාකච්ඡා පැවැත් විය යුතු යෑයි පැවසූ දේශපාලකයන්ට ඔහුගෙන් හානියක්‌ සිදු වූයේ නැත. මේ තත්ත්වය මැද 2009 යේ මැයි 13 වැනිදා කොටි සංවිධානය විනාශ වීය. පසුගිය අතීතය සිහිපත් කරන්නේ නම් මෙරට ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයේ රැස්‌වීම්වල සී. අයි. ඒ. බුද්ධිසේවාවේ නියෝජිතයෙකු පෙනීසිටින අවස්‌ථාවේ අපේ දේශපාලකයෝ කට ඇරියේ නැත. එවැනි තත්ත්වයක්‌ එදා පැවතිනි. ප්‍රභාකරන්ට විරුද්ධව ප්‍රකාශ කිරීමට දේශපාලකයෝ බිය වූහ. මේ නිසා මතුවන ප්‍රශ්නය නම් තව දුරටත් කොටි සංවිධානයේ රූකඩය වූ ද්‍රවිඩ සංධානයට සිය බෙදුම්වාදී ඉල්ලීම් බන්දේසියික තබා දිය යුතුද යන්නයි. ද්‍රවිඩ සංධානයේ කණ්‌ඩායම නවදිල්ලියට ගොස්‌ ආණ්‌ඩුව 13 වන සංශෝධනය ප්‍රතිශෝධනය කිරීමට සැරසෙන බවට ඉන්දීය අගමැති මන්මෝහන් සිංට පැමිණිලි කළේය. ඊළම් රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත් කළ වර්දරාජා පෙරුමාල්ද නවදිල්ලියට පැමිණ එම පැමිණිල්ලම කරමින් ශ්‍රී ලංකා රජයට 13 වැනි සංශෝධනයට අත තියන්න දෙන්න එපා යෑයි ඉල්ලා ඇත. මේ තත්ත්වය මැද ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් ලගදීම මෙරටට පැමිණීමට නියමිතය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා 13 වැනි සංශෝධනයට සම්බන්ධ පොලිස්‌ බල තල සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන්ට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන අස්‌ථාවර භාවයක්‌ එමගින් ඇතිවීමට ඉඩ ඇති නිසා පොලිස්‌ බලතල ලබා දෙන්නේ නැති බවයි. මේ පොලිස්‌ බලතලවල විපාක නිරීක්‍ෂණය කරමු. කොන්ග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි ඉන්දු කාශ්මීරයේ ශ්‍රී නගර් ගුවන් තොටුපලට පැමිණි අවස්‌ථාවේ ඇයට ගුවන් තොටුපලින් එළියට ඒමට මහ ඇමතිගෙන් අවසර ගැනීමට සිදු විය. පකිස්‌තාන් ත්‍රස්‌තවාදීහු මුම්බායි නගරයට එල්ල කළ ප්‍රහාරය මර්ධනය කිරීම සඳහා නවදිල්ලියේ සිට කමාන්ඩෝ භටයන් මුම්බායි වෙත ගෙන ඒමටද මහරාෂ්ඨ ප්‍රාන්තයේ මහ ඇමතිගෙන් අවසර ගැනීමට සිදු විය. ඒ සඳහා පැය දෙකක්‌ ගත විය. ඒ වන විට ත්‍රස්‌තවාදීහු මහත් විනාශයක්‌ සිදු කර තිබුණි. 13 වැනි සංශෝධනය ප්‍රකාර පොලිස්‌ බලතල දුන්නේ නම් මෙරට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යාපනයට ගොස්‌ කිසිදු පරීක්‍ෂණයක්‌ කිරීමේ හැකියාවක්‌ නොළැබෙනු ඇත. කොටින්ගේ යුධ ශක්‌තිය අවතක්‌සේරු නොකළ යුතු යෑයි පැවසූ ඇමතිවරු රජයේ සිටී. එවැනි විටක එවන් ඇමතිවරුන්ගේ ඉල්ලීම්වලට රජය සවන් දිය යුතුද?

13 ට සම්බන්ධ ඉන්දු ලංකා ගිවිසුමට යළි ජීවය දීමට උත්සාහ කිරීමේ පසුබිමද නිරීක්‍ෂණය කළ යුතුය. කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයාව සිටි දයා මාස්‌ටර්ද දැන් කියන්නේ 13 වැනි සංශෝධනය ප්‍රතිශෝධනය නොකළ යුතු බවයි. ඔහු ප්‍රභාකරන් වෙනුවෙන් හඬ නැගූ හිටපු ත්‍රස්‌තවාදියෙකි. එසේම නැගෙනහිර මහ ඇමැතිව සිටි පිල්ලෙයාන්ද 13 ට පක්‍ෂපාතී වී ඇත. මඩකලපුව සංවිධායක අරුන් තම්බිමුත්තු හා පදිරිප්පුව සංවිධායක ශාන් රාසමානික්‌කම් 13 සම්බන්ධයෙන් සෘජුවම පවසන්නේ එය ශ්‍රී ලංකාවට අවශ්‍ය නැති බවත් ද්‍රවිඩ ජනතාවද ඒ ගැන උනන්දුවක්‌ ඇති බවත්ය. එසේ නම් 13 දිය යුතු යෑයි මෙරට ඇතැම් පාර්ශවයන් පවසන්නේ මන්ද? වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධානවලට රුපියල් මිලියන 600 කට අධික අතිවිශාල මුදල් සම්බාරයක්‌ ලැබුණි. දැන් රාජ්‍ය නොවන සංවිධානවල වත්මන් මෙහෙයුම 13 වන සංශෝධනයයි. මින් පැහැදිලි වන්නේ බටහිර න්‍යායපත්‍රයන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහයයි. මේ සතියේ දිනක කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී මයිකල් අර්වින් ද්‍රවිඩ සංවිධානයේ මන්ත්‍රීවරුන් වූ යෝගේන්ද්‍ර ස්‌වාමී සහ ආරියනේන්ද්‍රන් හමුවී 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කරුණු විමසා ඇත. මෙහිදී එම ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ හමුදා බුද්ධිසේවාව තමන්ට ස්‌වාධීනව ක්‍රියා කිරීමට ඉඩ නොදෙන බවයි. මෙයට සමගාමීව යුරෝපා සංගමයද 13 සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් විමසා ඇත. මේ නිසා 13 පසුපස දියත් වී ඇති බටහිර න්‍යාය පත්‍රය පැහැදිලිය. මේ තත්ත්වය මැද බලතල බෙදාහැරිය යුතු යෑයි හඩ නගන දේශපාලකයන්ගෙන් විමසිය යුත්තේ රතු ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවක්‌ වෙසෙන ඇමරිකාවේ ඕක්‌ලහෝමා ප්‍රාන්තයට බලය විමධ්‍යගත කර තිබේද යන්නයි. ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියාවෙන් 13 ඉල්ලුවේ නැත. ද්‍රවිඩ ජනතාවද එවැන්නක්‌ ඉල්ලා නැත. එසේ නම් ඉඩම් හා පොලිස්‌ බලතල සහිත 13 වැනි සංශෝධනය ද්‍රවිඩ සංවිධානයට දිය යුතුද? රජය වගකිව යුත්තේ තමන්ට ඡන්දය දුන් ජනතාවට මිස ජන්දයෙන් පත් වූ දේශපාලකයන්ට නොවන බව අවිවාදයෙන්ම තේරුම්ගත යුතුය.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ පත්කළ මන්ත්‍රී ආර්. යෝගරාජන් ප්‍රශ්නයක්‌ නගමින් 13 වන සශෝධනය සම්බන්ධයෙන් වතුකරයේ දේශපාලන පක්‍ෂ නිහඩ වී සිටින්නේ මන්දැයි විමසා ඇත. මින් ඔහු පෙන්නුම් කරන්නේ ලංකා කම්කරු කොංග්‍රසයද ඉඩම් හා පොලිස්‌ බලතල අඩංගු 13 වැනි සංශෝධනයට පක්‍ෂ විය යුතු බවයි. එසේ නම් නුවරඑළියේ සිටින්නේ ද්‍රවිඩයන් 407612 ක සංඛ්‍යාවකි බදුල්ලේ ද්‍රවිඩයන් 169997 සිටී. මහනුවර 154874 ක්‌ ද්‍රවිඩයන් සිටින බව සංඛ්‍යා ලේඛනවල හෙළි වී තිබේ. රත්නපුරයේ සිටින ද්‍රවිඩයන් සංඛ්‍යාව 117258 කි. මෙම ප්‍රදේශවලටද පොලිස්‌ බලතල දිය යුතු යෑයි ඔහු කියන්නේ ද යන්න විමසිය යුතුව තිබේ. මේ අන්දමට කොළඹ සිටින 258654 ක්‌ වූ ද්‍රවිඩයන්ටද පොලිස්‌ බලතල දිය යුතුද? මේ අන්දමට හම්බන්තොට ප්‍රදේශයේ සිටින 2247 ක්‌ වූ ද්‍රවිඩයන්ද යම් දිනක පොලිස්‌ බලතල ඉල්ලා සිටියොත් ඊටද රජය ඉඩදිය යුතු යෑයි කියන්නේද? මෙම 13 වන සංශෝධනය එදා එපා යෑයි කී ද්‍රවිඩ සංවිධානය දැන් එය ඉල්ලන බව ප්ලොට්‌ සංවිධාන නායක සිද්ධාර්ථන් කියා සිටී. මේ අතර ද්‍රවිඩ සංවිධානය කොළඹ සිට ක්‍රියාත්මක වන මනෝ ගනේසන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සමගද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත. වන්නි මෙහෙයුම සමයේ මනෝ ගනේෂන්ලා ක්‍රියා කළ ආකාරය අමතක නොවේ. ඔවුන් චීනයෙන් ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අවි සැපයීම නතර කිරීමටද උත්සාහ කළේය. එවැනි පසුබිමක්‌ මත මනෝ ගනේෂන්ලාගේ ඉල්ලීම්වලටද රජය හිස නැමිය යුතුද? සෙබලුන් හා නිලධාරීන් 6000 කට අධික සංඛ්‍යාවක්‌ උතුරේදී දිවිපිදුවේ මෙලෙස ඉඩම් හා පොලිස්‌ බලතල අඩංගු 13 බන්දේසියක තබා දීමටද? ප්‍රභාකරන් කොටි කොඩිය බන්දේසියක තබා භාරදෙන්නැයි උතුරේදී අපේ හමුදා කණ්‌ඩායමකට නියෝග කළේය. එදා ඊට එකග විය. දැන් ද්‍රවිඩ සංවිධානය හා ඊට සම්බන්ධ සහචරයන් ඉල්ලන්නේත් එවන් ක්‍රියාදාමයක්‌ නොවේද?

කීර්ති වර්ණකුලසූරිය
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: 13 දෙනවද නැද්ද? Rating: 5 Reviewed By: Unknown