728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 20 October 2013

ලංකාවේ බින්න බහින පාකිස්‌තාන් කුඩු රජවරු


ලක්‌ මාතාවගේ සියලු සළු පිළි උනා දමා අමු අමුවේම ඇය දූෂණය කරන්නට දෙස්‌ විදෙස්‌ ජාවාරමුන්ට ඉඩ හසර විවිර වූ වටපිටාවක්‌ තුළ ඉකුත් දා ආසියාවේ විශාලතම මත්කුඩු වැටලීම මෙරටදී සිදු වූයේ සමස්‌ත ජාතියම කම්පනයට පත් කෙරෙමිනි.


මේ වන විට එකී වැටලීම ලොව නැව්ගත බහාලුමක්‌ හෙවත් කන්ටේනරයක්‌ තුළ තිබී සොයාගත් විශාලතම හෙරොයින් තොගය ලෙසද වාර්තා පොත්වලට එකතු වී අවසන්ය.

සිදුව ඇති දේ අපූරුය. අති විශිෂ්ටය. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී නවි පිල්ලේගේ ආගමනයත් සමග මේ අපේ බිම යෑයි ලොකු ලොක්‌කන් පමණක්‌ නොව ලොකු පොඩ්ඩෝද කෑමොර දෙද්දී සහ එය රැක ගත යුතු යෑයි විලාප නගද්දී පිල්ලේ නෝනා රටින් පිටවීමටත් පෙර කුඩු කන්ටේනරයක්‌ම ලංකාවට එන්නේය.

දැන් පිල්ලේ නෝනා පිටව ගොසිනි. ඉතින් මේ කුඩු කන්ටේනරයේ කතාවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ යෑයි, දේශීය අවලමුන්ගේ විෂබීජ හමුවේ රටට "කාසය" වැළඳී ඇති බව දැන දැනත් ඒ බව සඟවා පිට උගුරේ ගොස්‌ ඇතැයි කියමින් ලෝකයට ඇහෙන්නට කහින අපේ ඇතැම් දේශපාලනඥයන් හෙට දිනයේ කියන්නටද බැරි නැත.

නමුත් මහත්වරුනි. දැන් රටට "කාසය" වැළඳී අහවරය. අප ඒ බව කියන්නේ මෙදා හසුවූ කුඩු කන්ටේනරයේ කතාව සමග අපටම පමණක්‌ හෙළි වෙමින් තිබෙන සහ තවෙකෙකුගේ රස්‌සාව මෙන්ම ආරක්‍ෂාව වෙනුවෙන් අකමැත්තෙන් හෝ වසන් කළ යුතුව තිබෙන කරුණු හමුවේය. මෙහිදී අප උපන් මේ රටත් ජනතාවත් ගැන සිතී අප්‍රමාණ වූ වේදනාවක්‌ හදවතට දැනෙමින් තිබෙන බවද කිව යුතුව ඇත.

පාතාලයන් තුරුලට ගෙන නලවන අතරේ බුදුහු දෙසූ අපේ පංචශීලය එක පිඩට ගෙන අනුභව කර පංචකාමයෙන් මත්වී සුදු රෙදි අස්‌සේ සියල්ල සඟවා ගනිමින් අප ඉදිරියේ රඟන දේශපාලන අවලමුන් දෙතුන් දෙනකු පාකිස්‌ථාන මුසල්මානු මාෆියාවන් සමග එක්‌වී මත් කුඩෙන් රටේ අනාගත පරපුර වනසමින් සිටින බව "දිවයින" රටට කීවේ මීට වසර තුනකට පමණ ඉහතදීය.

ඒ "පොලිසියට කට්‌ටි පනිමින් ලංකාවේ බින්න බහින පාකිස්‌තාන් කුඩු රජවරු" යන සිරස්‌තලයද සහිතවය. එදා අප එකී හෙළිදරව්ව කරන අවස්‌ථාව වන විට වැඩේ එතරම් දුර දිග ගොස්‌ නොතිබිණ. සියල්ල වූයේ ළාමක තත්ත්වයේය.

නමුත් අපේ ඒ සටහනෙන් තෙවසරක්‌ ගෙවී යමින් තිබූ ඉකුත් 30 වැනි සිකුරාදා වන විට

එදා ළාමක තත්ත්වයේ තිබූ ඒ කතාවේ වර්ධනය තිබුණේ පාකිස්‌තානයේ මුසල්මානු මාෆියාවන් සමග එක්‌වූ මේ රටේ උපන් වසලයකු මුදලට කෑදරව ජාතිය වැනසීම සඳහා කුඩු කන්ටේනරයක්‌ම කොළඹ වරායට ගෙන්වූ තැනකය.

මෙසේ කන්ටේනරයක පැටවූ මත්කුඩු තොගයක්‌ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ කතාවද හරි අපූරු එකකි. අප එසේ කියන්නේ දැන් ඒ පිළිබඳ කතා දෙකක්‌ කියෑවෙමින් තිබෙන බැවිනි. ඉන් එක්‌ කතාවක්‌ ශ්‍රී ලංකා පොලිසිය කියන්නකි. දෙවැන්න ඇසෙන්නේ රේගු දෙපාර්තමේන්තුවෙනි.

නමුත් මෙසේ මොන කතා කියෑවුණත් මෙහි සත්‍ය කතාව දැනගැනීම මේ රටේ ජනතාවගේ අයිතියකි. එහෙයින් එකී සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස ඉහත කතා දෙකම දැන් අපි ඔබට කියන්නෙමු. එහිදී පළමුවෙන් අප ඔබට කියන්නේ පොලිසියේ කතාවය. එය දිගහැරෙන්නේ මෙසේය.

බස්‌නාහිර පළාත් පොලිස්‌ බුද්ධි ඒකකයේ ප්‍රධානියාට මීට මාස හතරකට පමණ ඉහතදී සිය නිලධාරියකු හරහා ඉතාම වැදගත් තොරතුරක්‌ ලැබෙන්නේ නොසිතූ ලෙසිනි. ඉන් කියවෙන්නේ කොළඹ මරදානේ පිහිටි සාලිමාර් හෝටලයේ නතරවී සිටින පාකිස්‌තානුවකු සහ කොළඹ මාලිගාවත්තේ මුස්‌ලිම් ජාතිකයකු එක්‌ව නැව් මගින් ලංකාවට ගෙන එනු ලබන හෙරොයින් කන්ටේනරයක්‌ පිළිබඳ කතා බහ කරන බවකි.

මේ තොරතුර ලැබුණු වහා පොලිස්‌ බුද්ධි අංශ ප්‍රධානියා කරනුයේ ඒ සියල්ල පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා වෙත යොමු කිරීමය. පොලිසියට අනුව රට වැනසීමට ගෙනා මේ කුඩු කන්ටේනරය පිළිබඳ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක්‌ යොදවා විමර්ශන ඇරඹෙන්නේ එතැන් සිටය.

"ඔව් ඒ විමර්ශනය ආරම්භ වුණේ පහුගිය මැයි මාසේ මැද හරියෙදී විතර. ලැබී තිබුණ තොරතුර අනුව අපි දිගින් දිගටම මරදාන සාලිමාර් හෝටලය අවට විමසිල්ලෙන් සිටිමින් හෝටලයට එන පාකිස්‌තාන ජාතිකයා සහ අනෙක්‌ පුද්ගලයා පිළිබඳ රහසේ නිරීක්‍ෂණය කළා. ඔවුන් දෙදෙනාම ධනවත් ව්‍යාපාරිකයන් ලෙසින් පෙනී සිටියේ.

මේ නිරීක්‍ෂණවලදී අපට වැටහුණා ලැබී තිබෙන තොරතුර ඉතාම වැදගත් එකක්‌ බව. පස්‌සේ අපි පසුගිය ජුනි මාසේ මුල් සතියේ දිනක ඔවුන් දෙදෙනා හෝටලයේ සිටියදීම අත්අඩංගුවට අරගෙන පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයට රැගෙනවිත් ප්‍රශ්න කළා.

ඒ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රකාශ කළා තමන් කරගෙන යන ව්‍යාපාරයට අවශ්‍ය භාණ්‌ඩ තොගයක්‌ පාකිස්‌ථානයේ සිට ගෙන්වීමට නියමිත බව. ඒ ඇරෙන්න වෙන යමක්‌ ප්‍රකාශ කළේ නැහැ.

ඒ අනුව මේ පුද්ගලයන් දෙදෙනා තව දුරටත් රඳවා ගැනීමට තරම් සාධක කිසිවක්‌ අපට නොතිබූ නිසා අප ඔවුන් දෙදෙනා පොලිස්‌ අත්අඩංගුවෙන් මුදා හැරියා. නමුත් එහෙම මුදා හැරියට එතන ඉඳන් මේ පුද්ගලයන් දෙදෙනා පසුපස හඹා යමින් ඔවුන් යන එන සෑම තැනක්‌ පිළිබඳවම ඔවුන්ටත් නොදැනෙන්න මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් දිවා රෑ නොබලා නිරීක්‍ෂණය කළා.

මෙම මත්කුඩු කන්ටේනරය අල්ලා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් මුලින්ම විමර්ශන පැවත්වූ අයුරු එසේ අපට අනාවරණය කර සිටියේ එක්‌තරා පොලිස්‌ ප්‍රධානියෙකි.

ධනවත් ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටියදී පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබූ පාකිස්‌තානු ජාතිකයා සහ මාලිගාවත්තේ පුද්ගලයා සිය ව්‍යාපාරවලට අවශ්‍ය භාණ්‌ඩ ඇතැයි සඳහන් කළ කන්ටේනරය පාකිස්‌තානයේ කරච්චි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවකින් ඉකුත් ජුනි මස 22 වැනිදා කොළඹ වරායට ළඟා වූයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විමර්ශන එසේ සිදු වෙමින් තිබියදීය.

එසේ කන්ටේනරය වරායට ළඟාවීමත් සමග ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටිමින් සාලිමාර් හෝටලයේ නතරවී සිටි ඉහත කී පාකිස්‌තානු ජාතිකයා සහ කොළඹ මාලිගාවත්තේ මුස්‌ලිම් ජාතිකයා කිසියම් බැරෑරුම් තත්ත්වයකට මුහුණ දී සිටින බව ඔවුන් පිළිබඳ නිරික්‍ෂණය කරමින් සිටි මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට අවබෝධ වන්නට විය.

ඒ වන විට ඔවුන්ගේ හැසිරීම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් තුළ දැඩි සැකයක්‌ මතු කිරීමටද හේතු වී තිබිණ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් වරායට ළඟා වූ කන්ටේනරයේ සියලු තොරතුරු රැස්‌ කර අධිකරණයට කරුණු වාර්තා කරමින් එය පරීක්‍ෂා කිරීමට අවසර ලබා ගත්තේය.

එසේ කටයුතු කරන අතරවාරයේ පාකිස්‌තානු ජාතිකයා සහ අනෙක්‌ පුද්ගලයා අවස්‌ථා දෙකකදීම රේගුව හමුවට යමින් වරායට ළඟා වූ කන්ටේනරය නිදහස්‌ කර ගැනීම සඳහා උත්සාහ ගත් බවද පොලිසියට වාර්තා වන්නේය.

නමින් පාකිස්‌තානු ජාතික ජමාල් කායිෆ් සහ මොහොමඩ් කාමෙල් වන මාලිගාවත්තේ මුස්‌ලිම් ජාතිකයා ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටිමින් එසේ රේගුව හමුවට යන්නේ තමන් ගෙන්වූ කන්ටේනරයේ ග්‍රීස්‌ තොගයක්‌ සහ ගොඩනැගිලි උපාංග සමග නානකාමර උපාංග තොගයක්‌ තිබෙන බවට සඳහනක්‌ද කරමිනි.

එහෙත් ග්‍රීස්‌ තොග මෙරටට ආනයනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ බලපත්‍රයක්‌ අවශ්‍ය බව සඳහන් කරන රේගු නිලධාරින් එය රැගෙන එන ලෙස පවසා කන්ටේනරය මුදා ගැනීමට පැමිණි අවස්‌ථා දෙකේදීම ඔවුන් දෙදෙනා හරවා යෑවූ බවද පොලිසිය දැන ගන්නේය.

පොලිසිය සඳහන් කරන පරිදි අදාළ කන්ටේනරය පරීක්‍ෂා කළ යුතු බැවින් එය රඳවා ගන්නා ලෙස මුල් වරට මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් ඉකුත් ජුලි මස 03 වැනිදා රේගුවට දැනුම් දීමක්‌ කරනුයේ සියල්ල මෙසේ සිදු වෙමින් තිබියදීය.

මේ මත්කුඩු කන්ටේනරය අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසියේ කතාව කියෑවෙන්නේ එලෙසිනි. එහෙත් පොලිසිය සිය විමර්ශනය පිළිබඳ එසේ පවසද්දී රේගුව කියනුයේ කුමක්‌ද?

"ඔව් මේ කන්ටේනරය කොළඹ වරායට ළඟා වුණේ පසුගිය ජුනි 22 වැනිදා. ඔය අතරේ තමයි ඊට සතියකට විතර පස්‌සේ අපිට තොරතුරක්‌ ලැබුණේ මේ කන්ටේනරය ඇතුළේ මත් කුඩු තොගයක්‌ තිබෙනවා කියලා. පස්‌සේ අපි උපක්‍රමශීලීව මෙය ගෙන්වනු ලැබූ පුද්ගලයා රේගු ප්‍රකාශන ඉදිරිපත් කර එය මුදා ගැනීමට පැමිණෙන තෙක්‌ බලා සිටියා.

ඒ එසේ පැමිණීමෙන් පසු හිමිකරු අත්අඩංගුවට ගෙන කන්ටේනරය පරීක්‍ෂා කිරීම සඳහායි. එසේ නොකළොත් ඔහු කොටුකර ගැනීමට නොහැකි වෙනවා. එහෙම ඉන්න අතරේ තමයි ජමාල් කායිෆ් සහ මොහොමඩ් කාමෙල් කියන මේ පාකිස්‌තානු ජාතිකයයි ශ්‍රී ලංකාවේ පුද්ගලයයි ඒක මුදා ගන්න ඉදිරිපත් වුණේ.

එතනදීත් ඔවුන් රේගු ප්‍රකාශන ඉදිරිපත් කර බදු ගෙවා නිම වනතුරුම අපි බලා සිටියා. ඒ කන්ටේනරය තුළ මත් කුඩු තිබුණහොත් අදාළ පුද්ගලයන් ගැලවී යා නොහැකි ලෙස කොටු කර ගැනීමේ අරමුණ ඇතිව. මෙහිදී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ද කැඳවා කන්ටේනරය විවෘත කිරීමට අප තීරණය කර තිබුණා.

අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය කන්ටේනරය පිළිබඳ දෙපාර්ශ්වයක කතාව එසේ වෙද්දී එය මෙරටට ගෙන්වූ පාකිස්‌තානු ජාතික ජමාල් කායිෆ් සහ මාලිගාවත්තේ මොහොමඩ් කාමෙල් කන්ටේනරය නිදහස්‌ කර ගැනීම සඳහා කොළඹදී වාප්පු ලිපිකරුවකුද සම්බන්ධ කර ගනිමින් එයට අදාළ බදු මුදල් වූ රුපියල් ලක්‍ෂ නවයක්‌ද ගෙවා ඉකුත් 28 වැනිදා රේගු ප්‍රකාශ සම්පූර්ණ කරනුයේ මේ අතරතුරය.

මේ අනුව අදාළ කන්ටේනරය කොළඹ ඔරුගොවත්තේ පිහිටි රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේදී විවෘත කෙරුණේ ඉකුත් තිස්‌ වැනිදාය. ඒ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් කණ්‌ඩාමක අධීක්‍ෂණයද ඇතිවය. කන්ටේනරය විවෘත කිරීමත් සමග වාප්පු ලිපිකරුට සහ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට එය බාර කළ රේගු නිලධාරින් පසෙකට වී සිටියහ. ඒ සමගම මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් කන්ටේනරයේ වූ ගී්‍රස්‌ ටින් එකින් එක කඩා පරීක්‍ෂා කරන්නට විය.

එහිදී ග්‍රීස්‌ ටින්වල තහඩුවලට ඇඟිලි කැපී තුවාල වන තුරුම පරීක්‍ෂා කළද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට මුල් ගී්‍රස්‌ ටින් 500 ක්‌ පමණ විවෘත කරන තුරුත් කිසිවක්‌ හමු නොවීය. එහෙත් උත්සාහය අත් නොහල ඔවුහු ගී්‍රස්‌ ටින් එකින් එක ගෙන දිගටම පරීක්‍ෂා කළේය. එසේ පරීක්‍ෂා කිරීමේදී පළමුවෙන්ම ගී්‍රස්‌ ටින් එකක ඉතාම සූක්‍ෂම ලෙස අසුරා තිබූ මත්කුඩු ග්‍රෑම් 200 ක පමණ ගුලියක්‌ පොලිස්‌ නිලධාරියකුට හසු වූයේ සියල්ලන් විශ්මයට පත් කරමිනි.

ඒ සමගම පාකිස්‌තානු ජාතික ජමාල් කායිෆ්ගේ සහ මාලිගාවත්තේ මුස්‌ලිම් ජාතිකයා වූ මොහොමඩ් කාමෙල්ගේ දැතට මාංචු වැටුණේ ඔවුන්ද නොසිතූ අයුරිනි. එහිදී ඔවුන් දෙදෙනා සමග පැමිණ සිටි කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ පදිංචි බුහාරි රිල්වාන් නමැත්තකුද කොටුවිය.

එතැන් පටන් පරීක්‍ෂාවට ලක්‌වූ ගී්‍රස්‌ ටින්වලින් කුඩු මතු වන්නට වූයේ කිසිවකුටත් මේ නව උපක්‍රමය පිළිබඳ සිතාගත නොහැකි අයුරින් විය. එසේ මතු වූ මත්කුඩු ගී්‍රස්‌ ටින්වල අසුරා තිබූ අන්දමද ඉතා සැලසුම් සහගත එකක්‌ විය. එය සිදුව තිබුණේ අදාළ ගී්‍රස්‌ටින් නිෂ්පාදනය කෙරුණු පාකිස්‌තාන් කම්හල තුළදීමය. ග්‍රෑම් 200 ක පමණ වූ හෙරොයින් තොගයක්‌ ගෙන ගුලියක්‌ සේ සකසා පොලිතින්වලින් ආවරණය කර ග්‍රෑම් 500 ක්‌ පමණ වූ ගී්‍රස්‌ ටින් එකක හරි මැදට සිටින සේ තබා එය ආවරණය වන සේ ග්‍රීස්‌ අසුරා තිබිණි.

සමන් ගමගේ - ප්‍රභාත් විතාන
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලංකාවේ බින්න බහින පාකිස්‌තාන් කුඩු රජවරු Rating: 5 Reviewed By: Unknown