පිළිකාවට ගොදුරුවූ දරුවන් වෙනුවෙන් පෞද්ගලික සමාගමක් මහරගම පිළිකා රෝහලට ඉතා විශාල මුදලකට විකුණන එන්නත් කුප්පි එම සමාගම විසින්ම සොරකම් කරවා යළිත් එම රෝහලටම විකිණීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෙළිකරගෙන ඇත.
මහරගම පිළිකා රෝහලේ සේවය කරන ඖෂධවේදීන් තිදෙනෙක් විසින් මෙම ඖෂධය රෝහලෙන් සොරකම් කර යළි අදාළ සමාගම වෙත ලබාදෙන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම එන්නත් කුප්පියක් අදාළ පෞද්ගලික ඖෂධ සමාගම විසින් මහරගම පිළිකා රෝහලට අලෙවි කරනුයේ රුපියල් ලක්‍ෂ තුනක මුදලකට බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කීය.
සමාගම සහ පිළිකා රෝහලේ ඉහතකී ඖෂධවේදීන් තිදෙනා එක්‌ව පසුගිය මාස 6 තුළ එම එන්නත් කුප්පි විසි එකක් රෝහලෙන් පන්නා යළිත් එම රෝහලටම අලෙවිකර ඇති බවද මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මහරගම පිළිකා රෝහලේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
මාස හයක් තුළ සමාගම විසින් මහරගම පිළිකා රෝහල වෙත සපයා ඇති එන්නත් කුප්පි එකම කාණ්‌ඩයේ ඒවා බවද විමර්ශනයේදී හෙළිදරව් වී තිබේ. ඖෂධයක් මහරගම පිළිකා රෝහල වෙත ලැබුණු පසු රෝහලේ ලාංඡනය ඊට යොදන අතර සමාගම විසින් අලෙවි කරන එන්නත් කුප්පිවලද රෝහලේ එම ලාංඡනයම තිබෙන බව විමර්ශනයේදී නිරීක්‍ෂණය වී තිබේ.
මෙම ඖෂධය පිළිකාවට ගොදුරු වූ දරුවන්ට ලබාදෙන අතර මේ ආකාරයට එය රෝහලෙන් සොරකම් කිරීම නිසා එම එන්නත් සැපයීමද ප්‍රමාද වීමෙන් රෝගී දරුවන්ගේ ජීවිත පවා මෙකී ජාවාරම්කරුවන් විසින් අවදානම් තත්ත්වයකට පත්කර ඇතැයිද ඉහත ප්‍රකාශකයා කීය.
අදාළ සමාගම විසින් පිළිකා රෝහල වෙත තවත් ඖෂධ වර්ග ලබාදෙන අතර එම ඖෂධ මේ ආකාරයට සොරකම් කර යළි රෝහලට අලෙවිකර තිබේදැයි යන්න විමර්ශනය කෙරෙන බවද ඉහත ප්‍රකාශකයා කීය.
විමර්ශන වාර්තාව ලැබූ පසු අදාළ ඖෂධවේදීන්ට සහ සමාගමට එරෙහිව තීන්දුවක් ගන්නා බවද හෙතෙම ප්‍රකාශ කළේය.
0 comments:
Post a Comment