සාගර පලන්සූරියගේ විශිෂ්ට විජයග්‍රහණයේ සතුට ප්‍රීතිය මුළු හොරණ පුරවරය පුරා අප්‍රේල් 06 වැනිදා උදේ පාන්දරම පිටාර ගලා ගියේය. හොරණ තුං මං හන්දියේ බෝගස සමීපයේ සිට ආසනය පුරාම තුං මං සතර මං හන්දිවල කිරි බත් අතිරස කැවුම් කොකිස් සහිත ප්‍රීති උත්සවයන් ය. හොරණ ආසනය තුළ රයිගම්පුර ඉතිහාසයේ පළමුවරට මෙබඳු කිරිබත් මංගල්‍යයක් පැවැත්වී දැයි බොහෝ දෙනා සැක පහළ කළහ. දැන් දේශපාලන වාද බේදකම් නැත. අලියා ලකුණට ජන්දය දුන් ජන්දදායකයන්ට සාගරගේ පාක්‍ෂිකයෝ විශේෂ දඬුවමක් සමහර තැනකදී ලබා දුන්හ. ආරාධනා කර කිරි බත් මංගල්‍යයට නො පැමිණි අය අල්ලා බලහත්කාරයෙන් කිරිබත් කන්නට දුන්හ. බොහෝ ගම්වල ගැහැනු මිනිස්‌සු වටපිටාවේ සිටින එජාපයට ජන්දය දුන් නිවෙස්‌වලට කිරිබත් පිඟන් රැගෙන ගොස් සතුට ප්‍රීතිය බෙදා ගත්හ.
සාගර පලන්සූරිය සහ මුනිදාස වික්‍රමනායක මහත්වරු කිරිබත් මංගල්‍යය පැවැති බොහෝ ස්‌ථානවලට ගොස් ජයග්‍රහණයේ සතුට ප්‍රීතිය බෙදා ගත්හ. එදින සවස් වරුවේම විද්‍යාරත්න පිරිවෙන්හි සාගර පිළිගැනීමේ මහා උළෙලකි. ඒ සභාව සංවිධානය කළේ විද්‍යාරත්න පරිවේනාධිපති මහනුවර ධම්මරතන හිමිපාණන්ය. රයිගම් කෝරළ වාසී ප්‍රගතිශීලී පෙරමුණේ මහා සංඝරත්නයටම ආරාධනය කිරීම පැවරුණේ පුහුවල ගංගාරාමාධිපති උඩුවේ ධම්මතිලක හිමිපාණන්ටය. උත්සව සභාව මෙහෙයවීම නාලන්දා පිරිවෙන්හි පරිවේනාධිපති හාන්දුපැල්පොල පුඤ්ඤරතන හිමිපාණන්ටය. මීවනපලාන ශ්‍රී සුනේත්‍රාරාම විහාරාධිපති මීවන පලානේ වාචිස්‌සර හිමිපාණන් වෙත සභාවේ සුවිශේෂ වැඩ සටහන් පැවරිණි.
මුළු හොරණ නගරයම රතු පාට නිල්පාට ධජ පතාකවලින් අලංකාර වී ඇත. විද්‍යාරත්න පිරිවෙනට පිවිසෙන ප්‍රධාන දොරටුව ළඟ දර්ශනීය තොරණක් ලහි ලහියේ ඉදි කෙරිණි. හොරණ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර පලන්සූරිය මහතා ශාස්‌ත්‍රාචාර්ය මුනිදාස වික්‍රමනායක, කරුණාසේන ජයලත්, සෝමරත්න වීරකෝන්, පුෂ්පකුමාර ප්‍රේමරත්න, ඩී. ඩබ්ලිව්. ජයසිංහ පේදිරික් බිහැල්පොල, ප්‍රධාන 56 මැතිවරණ සටනේ ප්‍රබල ක්‍රියාකාරීන් සමග දර්ශනීය පෙරහැරකින් උත්සව ශාලාව වෙත පැමිණියහ. ඒ සමගම සාගරගේ යෝධ සෙවනැල්ල වූ පී. බී. අල්විස් පෙරේරා කවියා ද පැමිණියේය.
මහනුවර ධම්මරතන හිමිපාණෝ මුලසුන හොබවමින් උත්සව සභාවේ කටයුතු ආරම්භ කළහ. හාන්දුපැල්පොල පුඤ්ඤරතන හිමිපාණෝ පිරිස පන්සිල්හි පිහිටුවූහ. මුනිදාස වික්‍රමනායක මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීය. උඩුවේ ධම්මතිලක, මිවනපලානේ වාචිස්‌වර හිමිවරු සාරගර්භ දෙසුම් පැවැත්වූහ. එපමණක් නොවේ, පනස් හයේ විජයග්‍රහණය ඉදිරියටම ගෙන යැමට අදිටන් කර ගනිමින් ජනතාව ධෛර්යමත් කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර පලන්සූරිය මහතා සිය සාරගර්භ කතාව පැවැත්වීමට වේදිකාවට පිවිසීමත් සමග සුපුරුදු අමුත්තෙක් වේදිකාවට පිය නඟා සාගර බදා ගත්තේය. ඒ ඇම්. ඩී. එච්. ජයවර්ධන හිටපු මුදල් ඇමැතිගේ ජන්ද සටනෙහි ප්‍රබල සෙන්පතියකු වූ ඉංගීරියේ ධර්මසිරි හරිස්‌චන්ද්‍ර කිවියාණන්ය.
පටු දේශපාලන මතවාදයන්ට වඩා කවි කලාවේ පවත්නා ශ්‍රේෂ්ඨත්වය එම සුහද හමුවෙන් මනා ලෙස පිළිබිඹු විය. සභා ගැබෙන් නැඟුණු උණුසුම් අත්පොළසන් හඬ මුළු පරිසරය පුරා ගිගුම් දුන්නේය.
සන්ධ්‍යා භාගයේ කවි සෙන්පති පී. බී. අල්විස් පෙරේරා කිවිඳුන්ගේ ප්‍රධානත්වයෙන් කවි මඩුවක් ද පැවැත්විණි. බේලින් ලොකු විතාන, උපනන්ද බටුගෙදර, ඩී. ඒ. කුමාරසිංහ, පුෂ්පකුමාර ප්‍රේමරත්න, ධර්මසිරි හරිස්‌චන්ද්‍ර, බොල්ගොඩ සෝමපාල, ප්‍රධාන කවිවරු එම කවි මඩුවට සහභාගී වූහ.
අප්‍රේල් 07 වැනිදා කළුතර දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ බල ප්‍රදේශ කිහිපයක ජන්ද විමසීම පැවැත්විණි. සාගර පලන්සූරිය 07, 08 සහ 09 දිගටම තම දේශපාලන නායකන් වු පිලිප් ගුණවර්ධනයන්ගේ ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය උදෙසා අවිස්‌සාවේල්ල ආසනය පුරා ප්‍රචාරක රැස්‌වීම්වලට සහභාගී වූයේ සුවිශේෂ කථිකයෙකු වශයෙනි.
අප්‍රේල් 11 වැනිදා මධ්‍යහ්නය වන විට සියලුම ජන්ද කොට්‌ඨාසයන්හි මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්ව තිබුණි. අප්‍රේල් 5 වැනිදා එ. ජා. ප . යට ලැබුණු ආසන 8 වෙනස් නොවුණු අතර එ. ජා. ප. යට හිමිවිය යුතු ඡන්ද ප්‍රමාණයද වේගයෙන් අඩු වූ වග මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි ලෙසම දක්‌නට තිබුණි. විශේෂයෙන් හේවාගම් කෝරළේ ජනතා නායකයන් වශයෙන් අභිෂේකයට පත්වෙමින් පිලිප් ගුණවර්ධන මහතා මුළු ජන්ද 30 දහස් 70 ක් ලබා වැඩි ජන්ද 22 දහස් 252 කින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගෙන තිබුණි. සාගරගේ මැතිවරණ සටනට ප්‍රබල සහයෝගයක් ලබා දෙමින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගී වූ සියලු අපේක්‍ෂකයන්ට ජයග්‍රහණය හිමි වී තිබුණ ද සෝමවීර චන්ද්‍රසිරි මහතා තුන් කොන් සටනෙන් පරාජයට පත් වීම විශේෂයෙන් සාගරට කිසියම් වේදනාවක් ලබා දුන්නාට සැකයක් නැත. ම. එ. පෙ. නායක ශ්‍රී ල. නි. ප. යේ නිර්මාතෘ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එම මැතිවරණයේ වැඩිම වැඩි ජන්ද ප්‍රමාණය වු 41 දහස් 997 ක් හිමිකර ගෙන සුවිශේෂ විජයග්‍රහණයක් ගත්තේ මෙරට මැතිවරණ ඉතිහාසයේ විශිෂ්ට සුවිශේෂී වාර්තාවක් තබමිණි.
එවකට හොරණ පළාත් ආණ්‌ඩු සභාපති ධූරය හෙබ වූ ඩබ්ලිව්. ඇම්. පොන්සේකා (බිබිලේ පොන්සේකා) මතුගම මැතිවරණ කොට්‌ඨාසයෙන් ස්‌වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඡන්ද 289 ක් ලබා ගෙන ඇප මුදලද රාජ සන්තක කර ගත්තේය. 1956 මැතිවරණයේදී මතුගම ආසනයෙන් විශිෂ්ට වාර්තාවක් තබමින් ජයග්‍රහණය කළ ටී. ටර්නෝලියස් පැස්‌කුවල් (දයා. ටී. පැස්‌කුවල්) අදත් ජීවිතයේ සන්ධ්‍යා භාගය ගත කරමින් සිටී. 1952 සිටම ගම්පහ ආසනයේ අසහාය නියමුවාණන් ලෙස පත් වූ ඇස්. ඩී. බණ්‌ඩාරනායක මහතාද දයා ටී. පැස්‌කුවල් මහතා ද අදත් ජීවිතයේ සන්ධ්‍යා කාලය ගත කරනුයේ සිය සුපුරුදු දේශපාලන මතවාදය ද සුරක්‍ෂිත කරගනිමිනි.
අප්‍රේල් 12 වැනිදා නව ඇමැති මණ්‌ඩලය අග්‍රාණ්‌ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ද තවත් විශේෂිත ගමන් මගකට අවතීර්ණ වෙමිනි. ඇමැති මණ්‌ඩලයේ සියලු දෙනා ජාතික ඇඳුමෙන් සැරසී දිවුරුම් දීමේ මංගල අවස්‌ථාව ද එදා ජනතාවට දැක ගන්නට හැකි විය. එතෙක් කල් කැබිනට් මණ්‌ඩල ඇමැතිවරු දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වූයේ වලිග තොප්පි (ටොප් හැට්) දමා ගෙන යුරෝපීය ඇඳුමෙනි.
පත් වූ ඇමැති මණ්‌ඩලය මෙසේය.
අග්‍රාමාත්‍ය රාජ්‍ය ආරක්‍ෂක හා විදේශ කටයුතු -
ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා
අධ්‍යාපන-
ඩබ්ලිව්. දහනායක
අධිකරණ-
උත්තර මන්ත්‍රී එම්. ඩබිලිව්. එච්. ද සිල්වා මහතා
කර්මාන්ත සහ ධීවර-
පී. එම්. විලියම් සිල්වා මහතා
මුදල් -
ස්‌ටැන්ලි ද සොයිසා මහතා
කෘෂිකර්ම සහ ආහාර-
පිලිප් ගුණවර්ධන මහතා
කම්කරු නිවාස හා සමාජ සේවා -
ටී. බී. ඉලංගරත්න මහතා
ස්‌වදේශ කටයුතු -
උත්තර මන්ත්‍රී ඒ. පී. ජයසූරිය මහතා
පළාත් පාලන හා සංස්‌කෘතික - ජයවීර කුරුප්පු මහතා
තැපැල් ගුවන් විදුලි සහ ප්‍රවෘත්ති - සී. ඒ. ඇස්. මරික්‌කාර් මහතා
වාණිජ සහ වෙළෙඳ-
ආර්. ජී. සේනානායක මහතා
ප්‍රවාහන හා ප්‍රසිද්ධ වැඩ -
මෛත්‍රීපාල සේනානායක මහතා
සෞඛ්‍ය-
විමලා විජයවර්ධන මහත්මිය
මෙම අමාත්‍යාංශය සඳහා පාර්ලිමේන්තු ලේකම්වරු (උප ඇමැතිවරු) 13 ක් ද එදිනම දිවුරුම් දුන්හ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් කැබිනට් මණ්‌ඩලයට පත් වූයේ 1956 දීය. තවත් විශේෂ සිද්ධීන් කීපයක්‌ද සිදු විය. එහෙත් අපට සංස්‌කෘතික කටයුතු භාර ඇමැතිවරයෙකු සිටියේ නැත. එම ඇමැති මණ්‌ඩලයෙහි ද හොරණ නියෝජනය දක්‌නට තිබුණි. සාගරගේ විශිෂ්ට විජයග්‍රහණය උදෙසා ඇප කැප වීමෙන් පෙරමුණු බලය ගොඩනඟා ශක්‌තිමත් කළ සෙන්ටි මන්ත්‍රී ඒ. පී. ජයසූරිය මහතාට ස්‌වදේශ කටයුතු භාර අමාත්‍යාංශය හිමිවීම හොරණ ජනතාව ලැබූ තවත් විජයග්‍රහණයකි.
දිවුරුම් දීමෙන් පසු ඇමැති මණ්‌ඩලය ප්‍රමුඛ සියලුම මැතිඇමැතිවරු කැලණිය රජ මහා විහාරස්‌ථානයට පිවිසියහ. එක්‌සත් භික්‍ෂු බලමණ්‌ඩලයේ ප්‍රධාන සංවිධායකවරයෙකු වූ කැලණි රජ මහාවිහාරාධිපති මාපිටිගම බුද්ධ රක්ත හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් මැති ඇමැතිවරු රට ගොඩනැඟêමේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පරිවර්තන යුගයක් බිහි කිරීමේ මහා භාරදූර කාර්යය.
භාරයක් ඉටු කරලීමට දිවුරුම් දුන්හ. සියලු මැති ඇමැතිවරු බුදුහිමිපාණන් වෙත සමන් මල්වට්‌ටි පූජා කළහ.
සුපුරුදු ආකාරයෙන් අපේ ගම්බිම්වල සිංහල චාරිත්‍ර විධි ප්‍රකාරව අප්‍රේල් 13 වැනිදා සෑම නිවසකම කිරිබත් කැවුම්, කොකිස්, අතිරස ප්‍රධාන කර ගත් සංග්‍රහයන් නොවරදවාම සිදු වේ. කැබිනට් ඇමැතිවරු දිවුරුම් දුන්දා අරලියගහ මන්දිරයේ විශේෂ කිරිබත් මංගල්‍යයකි. ඒ අපේ දේශපාලන ඉතිහාසයේ පළමුවරටය. ඒ වනතෙක්‌ම අරලියගහ මන්දිරයෙහි පැවතුණේ බටහිර චාරිත්‍ර විධි ප්‍රකාරව කොක්‌ටෙල් සාද පැවැත්වීමය. මෙරට දේශපාලන ගමන්මගෙහි පළමුවරට කැබිනට් ඇමැතිවරු ද මන්ත්‍රීවරු ද ජාතික ඇඳුමෙන් සැරසී කිරිබත් මංගල්‍යයට සහභාගිවීම නවයුගයක උදාව සනිටුහන් කිරීමක් විය.
1956 සිංහල අලුත් අවුරුද්ද එතෙක් පැවැති සියලු අවුරුදු උත්සවවලට වඩා සුවිශේෂී ලක්‍ෂණයන්ගෙන් යුක්‌ත විය. පොදු ජනතාව තුළ නැවුම් සිතිවිලි ගොඩනැඟුණි. අපේ ආණ්‌ඩුව අපේ අගමැතිවරු අපේ ඇමැති අපේ මන්ත්‍රී වශයෙන් කතා බස් කිරීමට ඒ ජනතාව පෙළැඹුණේ 1956 විජයග්‍රහණයත් සමගය. මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වූ සියලු මැතිඇමැතිවරු ඡන්දදායකයන් හමුවී විජයග්‍රහණයේ ප්‍රීතිය බෙදාගත්හ. මැතිවරණ ජයග්‍රහණයකින් පසු විශේෂයෙන් ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් යළිත් සිය ඡන්දදායකයන් සොයා පියනැඟුවේ විශේෂ කාර්යයකදී පමණි. එම ආකල්පමය පනස් හයේ විජයග්‍රහණයත් සමග සුබවාදී ලක්‍ෂණයන්ගෙන් යුතුව වෙනස් විය.
දිවුරුම් දෙන්නට අගනුවරට පැමිණි ඈත ඡන්ද කොට්‌ඨාසවල මැති ඇමැතිවරු ආපසු ඡන්ද කොට්‌ඨාසවලට යද්දී ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාව ඔවුන් පිළිගත්තේ ඉතා උණුසුම් ආකාරයෙනි. ගොක් තොරණ ගෙඩිතොරණ බැඳ රබන් ගසා රතිඤ්Æ පත්තු කරමින් ජනතාව දැක්‌වූ උණුසුම් ප්‍රතිචාරය ඇත්ත වශයෙන්ම නව යුගයක් උදාවක් සනිටුහන් කිරීමක් විය.
අප්‍රේල් 14 වැනිදා මුණිදාස වික්‍රමනායක මහතාගේ මිල්ලෑවේ මහගෙදර පැවතුණේ මහා මංගල්‍යයකි. නව මන්ත්‍රී සාගර පලන්සූරිය සමග ඉතා සමීපව කුළුපගව වචන තුන හතරක් කතා කරන්නට සියලුදෙනා මහන්සි ගත්හ. සබරගමු පළාතේ ඈතම ඈත බුංගිරියේ කලල්ඇල්ලේදී ජන්ම දායාදය ලැබූ ඒ හද්ද පිටිසර ගැමියා බාධක හිරිහැර දහසක් මධ්‍යයේ බොහෝ දුර ගමනක් පැමිණ හොරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුවද සාගරගේ අව්‍යාජ නිහතමානී ගැමිකම වෙනස් වූයේ නැත. හොරණ ගැමි ජනතාව සමග සාගර ඉතා සමීප වූයේ හොරණට නාමයෝජනා පත්‍ර භාර දුන් දිනට පසුදා පටන් ය. මිල්ලෑව මහ ගෙදර සාගරට සිය නිවස තරම්ම ඉතා සුන්දර විය. සමීප විය. සාගරගේ අව්‍යාජ සිනහව ප්‍රදේශයේ ජනතාවට රසඳුනක් වූවාට සැක නැත.
1952-1956 දක්‌වාම හොරණ මන්ත්‍රී ධුරය හෙබ වූ ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතා ළඟට ඉතා සමීප වීමට හොරණ එ.ජා. පක්‍ෂයේ ඉහළම ආධාරකරුවාට පවා අවස්‌ථාවක් නොලැබුණු වග රහසක් නොවේ. ඇම්. ඩී. එච්. ගේ ආරෝහ පරිණාහ දේහයක් පක්‍ෂයේ තේජෝ බල වික්‍රමාන්විත ගරුත්වයක් එකල එ.ජා.ප. ය පොදු ජනතාවට සමීප නොවීමත් පන්තිමය වශයෙන් තිබූ දුරස්‌ථභාවයත් ගැමි තීරුව සහ නාගරික තීරුව අතර තිබුණු විශාල පරතරයත් පාලකයන් හා ජනතාව අතර පැවැති මහා හිඩැසත් නිසා සම්බන්ධතා ගොඩනැඟුණේ ඉතා සීමිත ආකාරයෙනි.
පනස් හයේ ජනතා විජයග්‍රහණයත් සමඟ ඉහත කී සමාජ වටපිටාව උඩු යටිකුරු විය.
බන්ධුල ආර්. ගුලවත්ත
0 comments:
Post a Comment