පවුලෙ කෙනෙක්වත් නොකරපු තරමට ධර්මසිරි අයියා මට හුඟක් පිහිට වුණා
අනෝජා වීරසිංහ
අම්ම - තාත්තා හැරුණුකොට අනෝජා වීරසිංහගෙ හිතේ හැමදාම ජීවත්වන අමරණීය චරිත කිහිපයක් ම ඉන්නව.සම්මානනීය නිළියකට මොන තරම් සබඳතා ද.... ඒත් ඒ හැමෝම ගැන හිතද්දි ඉදිරියෙන් ම ඉන්නෙ නෝමා. ඇගේ වචනවලින් නම් නෝමක්කා. ධනවත් ව්‍යාපාරික කාන්තාවක්.
“ඈ මට මුණ ගැහෙන්නෙ මගේ රංගන ජීවිතයෙ ආරම්භයේදී. විටෙක හොඳ යෙහෙළියක්. අම්මෙක්. වෙලාවකට ගුරුවරියක්. ඕනෙ වුණොත් දොස්තර කෙනෙක්. මගෙ ජීවිතේ ඕනෙ වෙන්නෙ මොන විදියට ද ඈ මට පිහිට වෙන්නෙ ඒ විදියට. ඒ බැඳීමට ආදරේට දැන් අවුරුදු 30 කටත් වැඩියි.
අපි මාස ගණන් දකින්නෑ. කතා කරන්නෑ. නමුත් හදවත්වලින් ඒ බැඳීම එදාටත් වඩා අද වැඩියි. කවදාවත් අමතක නොවන අමරණීයම චරිතෙ මට නෝමක්කා කිව්වෙ ඒ නිසා.
ඩී.බී. නිහාල්සිංහ කියන්නෙත් මගේ හදවතේ හැමදාම ජීවත්වන චරිතයක්. මං ලාංකේය නිළියක් විදියට ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වීමේ පළමු ගෞරවයත් හිමි ඔහුට.
මොකද මාව නිළියක් කළේ ඔහු. යසපාලිත නානායක්කාර, සුනිල් සෝම පීරිස්, චන්ද්‍රිකා කාරියවසම් මගේ නිළි ජීවිතේට අත්වැල දුන් අය. ‘මල්දෙණියෙ සිමියොන්’ මගේ ජීවිතේ එක්තරා සන්ධිස්ථානයක්. ඒ වෙනකොට මං මල් ගස් වටේ නටන නිළියක්.
නමුත් ‘කැලෑ මල්’ සහ මුහුදු ලිහිණි’ චිත්‍රපටවල කැමරා ශිල්පියා විදියට නිහාල් අයියා මගේ රඟපෑම් හොඳින් අධ්‍යායනය කරල තිබුණා. මගෙන් ඊට වඩා යමක් ගත හැකි බව ඔහු වටහාගෙන තිබුණා.
‘මල්දෙණියෙ සිමියොන්’ රඟපාද්දී නිහාල් අයියා කොටින්ම මට රංගන පාසලක් වුණා. මං මගේ රංගන ජීවිතයේ ගුරුවරයා ලෙස අදත් සලකන්නෙ නිහාල්සිංහයන්. ඒ මතක් කිරීම පවා මට භක්තියක්. හොඳ අධ්‍යක්ෂවරයෙක්, ගුරුවරයෙක් වගේ ම වෙලාවකට නිහාල් අයියා මට හොඳ මිත්‍රයෙක්. ඒ වගේ ම තාත්තෙක් වගේ විශ්වාසනීයයි. බොහොම සුන්දර හදවතක් ඔහුට තියෙන්නෙ.
මාව ‘මල්දෙණියෙ සිමියොන්’ ප්‍රධාන චරිතෙට නොගත්ත නම් අද මට ඒ තරම් වටිනාකමක් ගොඩනැඟෙන්නෑ. එවැනි සම්භාව්‍ය චරිතයක් හරහා මාව රංගනයේ වෙනස්ම මඟකට යොමු කිරීමේ ගෞරවය හැමදාම මං ඔහුට පුදනවා. මේ රටට රජත මයුර සම්මානය ගෙනා පළමු නිළිය ලෙස මං ඉතිහාසගත වුණෙත් ඔහු නිසා.
ඊළඟට මගෙ මතකෙ සදා ජීවත්වෙන්නෙ පෝල් කොක්ස් සහ සූ වෙස්ටන් දෙන්නා.
පෝල් කියන්නෙ ලොව විශිෂ්ට ගණයේ සිනමා අධ්‍යක්ෂවරු අතරේ කෙනෙක්. ඔහු මට මුලින් ම මුණ ගැහුණෙ 1987 කැනඩාවෙ ‘වැන්කූවර් ෆිල්ම් ෆෙස්ටිවල්’ එකේදී. එයා මාව දැකපු ගමන් ඇහුවෙ ඔයා ‘මල්දෙණියෙ සිමියොන්’ චිත්‍රපටයෙ හිටියා නේද කියල.
“ඔයා කොහොමද දන්නෙ....” මම ඇහුවා. එතකොටයි ඔහු කිව්වෙ නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ ජූරි සභාවේ ඔහු හිටි වග.
ඊට පස්සෙ පෝල් මට ආරාධනා කළා එයාගෙ ‘අයිලන්ඩ්’ චිත්‍රපටයෙ රඟපාන්න. ලෝකයේ ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජනය කළ මේ චිත්‍රපටයෙ මගේ රංගනය ලොව විශිෂ්ට සිනමාවේදීන්ගේ, විචාරකයින්ගේ පැසසුමට ලක් වුණා. අනික මං ඒ චිත්‍රපට උලෙළවලදී නියෝජනය කළේ ඕස්ට්‍රේලියාව. ශ්‍රී ලාංකේය නිළියක් විදියට මං ඒ ආඩම්බරය වින්දෙ පෝල් නිසා. මේ දවස්වල මං කොණ්ඩෙ වවන්නෙත් පෝල්ගෙ ඊළඟ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයක් රඟපාන්න තියෙන නිසා. 1987 ඉඳන් අද දක්වා ම පෝල් මගේ හොඳ යාළුවෙක්.
සූ වෙස්ටන්, එංගලන්තයේ ලැම්ඩා ආයතනයේ ආංගික අභිනය ඉගැන්වූ මගේ ගුරුවරිය. රංගන ශිල්පයේදී තදබල විනයක් තිබිය යුතු බව මං උගත්තෙ ඇගෙන්.
බෞද්ධ රටක ඉඳල සුදු ජාතික කාන්තාවකගෙන් බුදු දහමේ අගය වටහා ගත්තා කිව්වොත් විහිළුවක් වෙයි. නමුත් ඒක තමයි ඇත්ත. රංගන ශිල්පයේදී බුදු දහමේ විනය - අගය බොහොම හොඳින් සම්මිශ්‍රණය කළ කෙනෙක් සූ. නාමික බෞද්ධයෙක් වෙලා වැඩක් නෑ. අපේ අය සිල් ගන්න ගමන් එතැන කතා කරන්නෙත් ඕපාදූප. අල්ලපු ගෙදර විත්ති.
ධර්මසිරි බණ්ඩාරනායක කියන්නෙත් ඔය හා සමානව ම අනෝජගෙ හිතේ ලැඟුම්ගත් අමරණීය චරිතයක්.
“ඇත්තටම ඔහු මගේ ජීවිතේ මුණගැසුණු පුදුමාකාර චරිතයක්. කොයි තරම් ප්‍රශ්න තිබුණත් මුදල් නැති වුණත් මනුස්සයකුට උදව් කරන්න අයියට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මං අයියා කියන්නෙ මගේ ම අයියා වගේ නිසා.
පහුගිය කාලෙ මගේ ජීවිතේ අනතුරේ වැටුණු වෙලාවෙ උදව් කළ එකම පුද්ගලයා අයියා. ඇත්තටම මගේ ජීවිතේ ආරක්ෂා කළේ එයා. සමහර වෙලාවට පවුලේ කෙනෙක්වත් නොකරපු තරමට එයා ඒ වෙලාවෙ පිහිට වුණා.
මට පොඩි නංගියෙක් වුණාට ශෙරින් කුමාරතුංග කියන්නෙ මගේ ජීවිතේ මුණගැහුණු තවත් සුවිශේෂී චරිතයක්. ඈ මං හඳුනගත්තෙ ජීවන් නිසා. පසුකාලීනව ඈත් මට අවශ්‍ය ඕනෑම වෙලාවක පිහිටවෙන්නෙ යෙහෙළියක් වගේ. මගෙ ඉගෙනීමේ කටයුතුවලදී ඈ මට උදව් කළා. ඒ නිසා ඈ මට හැමදාමත් හරිම විශේෂයි...”
මේ හැම කෙනාම ජීවිතේ අමරණීය චරිත වෙන අනෙක් හේතුව ඔවුන් සතුව ඇති සොඳුරු බව කියලයි අනෝජා කියන්නෙ.
0 comments:
Post a Comment