ලොව ප‍්‍රධානතම චමත්කාරය එහි විවිධත්වයයි නිතර කියැවෙන්නෙකි. එක් ප‍්‍රධාන විවිධත්වයක් නම් භාෂා විවිධත්වයයි. ඩාර්වින් ගේ පරිණාමවාදය අප අකුරට ම විශ්වාස කළ හොත් මනුෂ්‍යයා දෙපයින් ඇවිදිමින් ක‍්‍රමයෙන් ශිෂ්ටසම්පන්න වීමේ කථාවේ ප‍්‍රධාන මයිලස්ථානයකි, භාෂා ජනිත වීම. එය හදිසියේ සිදු වූවක් නො වේ.
ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලෝකයේ විවිධ ප‍්‍රදේශවල ජීවත් වූ ජන කොටස් සමඟ සංවාදයේ යෙදීමට ගොඩ නඟා ගත් මෙවලමකි. මුල දී භාවිතා වූයේ හස්ත චලනය හා සතුන් ගේ හඬ අනුකරණය යි.නොබෝදා මේ ඇතැම් භාෂා පැවැත්මට ද වර්ධනයට ද තිත තබන ඉතා සංවේගජනක පුවතක් නැතහොත් අනාවැකියක් කියවීමි. එය නම් අද ලොව භාවිත වන භාෂා 7000 පමණින් සෑහෙන කොටසක් මේ ශත වර්ෂය අවසානයේ දී අභාවයට යන බව යි. අප බස ද මේ ගණයට ඇතුළු වන්නේ ද නොවන්නේ ද යන්න ගැන දළ අදහසක් මේ ලිපියෙන් ලැබෙනු ඇත.
යට කී අනාවැකිය පළ කළ යුරෝපීය පර්යේෂකයන් ගේ අදහස් අනු ව මේ ශත වර්ෂය, අන්තර්ජාතික තත්ත්වයට පත් වී නැති භාෂා වශයෙන් ඔවුන් හඳුන්වන භාෂාවන්ට ඉතා අපල කාලයකි.
මිය යෑමේ හෝ මරණාසන්න වීමේ ග‍්‍රහ යෝගය මේ සියවස තුළ ඒ භාෂාවලට ලබා ඇත. දැනට ම සති දෙකකට වරක් එක් භාෂාවක් මෙසේ ස්වර්ගස්ථ වේලු.
ඒ අන්තර්ජාතික ව ව්‍යාප්ත වන ඉංගී‍්‍රසි ප‍්‍රංශ ස්පාඤ්ඤ ප‍්‍රතුගීසි වැනි භාෂාවන්හි බල මහිමය නිසා ය. අධිරාජ්‍යවාදයෙන් ඇරැඹුණු මේ ප‍්‍රවණතාව ඉකුත් ශත වර්ෂ තුළ වෙළෙඳ ද්‍රව්‍ය පරිභෝජනය පාසල් අධ්‍යාපන මාධ්‍යය කාර්මීකරණය, කාර්මික හා තාක්ෂණික දැනුම හා රූපවාහිනී ඇතුළු සන්නිවේදන ජාල ආදී මාධ්‍යයෙන් ක‍්‍රමයෙන් උත්සන්න වේ.
යට කී පර්යේෂණයට අනු ව මේ භාෂා ඉලව් ගෙවල් අද වඩා පැතිරෙන්නේ උතුරු ඕස්ටේ‍්‍රලියාව, දකුණු හා මධ්‍යම ඇමෙරිකාව, උතුරු ඇමෙරිකාව, සයිබීරියාව හා නිරිතදිග ඇමෙරිකා එක්සත් ජනපදයේ ය. ඒ ඒ රටවල භාෂා වෙන වෙන ම සඳහන් කර නැත.
සඳහන් කර ඇත්තේ විශාල භූගෝලීය ඒකක ය. සිංහල භාෂාව ගැන මෙහි සඳහන් නොවන්නේ මේ හේතුව නිසා බව පැහැදිලි ය.
අපට වඩා ඉතා අඩු සංඛ්‍යාවක් කතා කරන භාෂා සඳහන් වෙතත් ඔවුන් ඇමෙරිකාව වැනි සුවිසල් හා ප‍්‍රකට රටවල ජීවත් වන්නන් ය. එහෙත් එක් රටක භාවිතයට පමණක් සීමා වූ භාෂා ගෝලීයකරණ ව්‍යාධිය නිසා නැති ව යෑමේ ඉඟිය අපට ද අපල සහගත ය.
එහෙත් යට කී කරුණු දැක්වෙන National Geography සඟරාවේ ඔක්තෝබර් කලාපයේ සැනසිලිදායක පුවතක් ද ඇතුළත් ය. මේ අතුරුදහන් වන භාෂා ගණයට අයත් වන භාෂාවලට බොහෝ විට ලිඛිත ස්වරූපයක් නැත.
ඒ නිසා ම ශබ්ද කෝෂයක් ද නැත. කාලාන්තරයක් තිස්සේ එකතු වූ දැනුම් සම්භාරයක් ද නැත. එය එසේ නම් සිංහල භාෂාව සුවිශේෂ නොවන්නේ ද?
යට කී දත්ත එකතු කිරීමට Living Tongues යන ආයතනයේ අධ්‍යක්ෂ හැරිමන් හා ඇන්ඩර්සන් යන ආචාර්යවරුන් ඇතුළු කීප දෙනකු වසර ගණනාවක් තිස්සේ ලොව පුරා කරක් ගසා ඒ ඒ රටවල භාෂා ති‍්‍රත්ත්ව සියුම් ලෙස අධ්‍යයනය කර ඇත.
ඕස්ටේ‍්‍රලියාවේ ආදී වාසීන් කතා කරන බස පර ලොවට කිට්ටු බව ඔවුන් ගේ එක් සොයා ගැනීමකි. “මගිටි කී” යන බස ද අවසන් හුස්ම හෙළයි.
එය කතා කරන්නේ තිදෙනකු පමණක් ලු. යවාරු බස කතා කරන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. මේ අතර අමුරිඩාන් බස කතා කරන්නේ එක් අයෙක් පමණලු. ඔහු එය තනියම කතා කරනවා විය හැකි ය.
එහෙත් යට කී පර්යේෂකයෝ ද දුර්මුඛ නො වූ හ. ඇත්තට ම ඔවුන් ගේ් අරමුණ තම භාෂාව ලොව ජය කෙහෙළි නංවා ඇති සැටි විභාග කිරීම නොවන බවත් ඊට වඩා උදාර අරමුණකින් ඔවුන් මෙහෙය වී ඇති බවත් පැහැදිලි ය.
මේ නැති වී යන භාෂා ගැන ඔව්හු දුක් වෙති. ඒවා තැටි ගත කර හෝ තබා ගැනීමට වෙහෙසෙති. දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳුවැටියේ සිට ඇමසන් මිටියාවත දක්වා ඉපැරැණි ඇමෙරිකන් රාජ්‍ය වැජැඹුණේ ය.
ඔවුන් ගේ රජවරු මහේශාක්‍ය මාලිගාවල වෙසෙමින් ඒ ඒ ප‍්‍රාන්ත පාලනය කළහ. එහෙත් සිය බයිනෙත්තු බලයෙන් ස්පාඤ්ඤ හා පෘතුගීසි ජාතිකයෝ මේ රාජ්‍ය හා ආයාසයෙන් ගොඩ නගා ගත් ශිෂ්ටාචාර විනාශ කළ අතර, ඔවුන් ගේ සියලු ස්වදේශීය භාෂා ක‍්‍රමයෙන් අතුරුදන් විය.
ඇතැම් ප‍්‍රදේශවල විදේශීය හා ස්වදේශීය භාෂා සම්මිශ‍්‍රණය වූ අච්චාරු ස්වරූපයේ බසක් ව්‍යවහාර වේ. කල්ලවයා නම් ගෝත‍්‍රය අමුතු ම භාෂා ක‍්‍රමයක් ගෙන යන්නේ ලු. එදිනෙදා ව්‍යවහාරයේ දී විදේශීය බස හෝ සම්මිශ‍්‍රණය වූ බසක් පාවිච්චි කරන අතර ඔවුන් ගේ ඉපැරැණි ඖෂධ පිළිබඳ රහස් රැක ගැනීමට පමණක් තමන් ගේ ම බස උපයෝගි කර ගනිති.
ඉංග‍්‍රීසි බසේ ව්‍යාප්තිය නිසා වැනැසෙන හෝ කෙලෙසෙන භාෂා රාශියකි. යට කී වාර්තාවේ අපේ බස ගැන සඳහන් නොවෙතත් අපේ බසට ද මේ කරුණ බෙහෙවින් බල පා ඇත.
උතුරු ඇමෙරිකාවේ පමණක් විශේෂයෙන් වයඹ දිග ශාන්තිකර කලාපයේ දේශීය භාෂා 54 ක් පමණ පලවා හැරීමට ඉංග‍්‍රීසි බස සමත් වී තිබේ. මේ භාෂා ව්‍යවහාර කළේ යුරෝපීයන් ගේ ආගමනයට පෙරාතු ව එහි විසූ ඇමෙරිකන් ඉන්දියන් ගෝති‍්‍රකයන් ය.
ඔරෙගන් නම් ප‍්‍රදේශයෙන් පමණක් ස්වදේශීය බස කතා කරන එක් අයකු සොයා ගැනීමට හැකි වී ඇත. ඔහු ජීවත් වන්නේ Reservation ගම්මානයක ය. මේ ගම්මාන කවරේ ද ස්වදේශිකයන්ට නිදහසේ තම ගතානුගතික ජීවන ක‍්‍රම ගෙන යෑමට හැකි වන සේ වෙන් වූ ගම්මාන ය.
රුසියාව සිය බලයේ උච්ච අවස්ථාවට පත් වූ විට කළ එක් නිල කාර්යයකි. සයිබීරියාව ඇතුළු එයට අයත් ඈත ප‍්‍රදේශවල පාවිච්චි කළ උප භාෂා තහනම් කර, ජාතික භාෂා වශයෙන් හැඳින්වුණු භාෂා ව්‍යවහාර කිරීමට නියෝග කිරීම ය.
මෙවැනි දෙයක් වෙනත් ග‍්‍රන්ථයක වසර කීපයකට ඉහත කියැවීමි. එය නම් ඉංග‍්‍රීසි ජාතිකයන් ඇමෙරිකාවේ කපු වගාව ඇරැඹූ පසු එහි කපු වතුවල වැඩ කිරීම සඳහා වහලුන් වශයෙන් ගෙන්වු ලැබූ අප‍්‍රිකානුවන්ට සිය භාෂාව කතා කිරිම තහනම් කිරීම යි.
හේතුව කුමක් ද? පාලකයන්ට දුරවබෝධ බසකින් ඔවුන් සංවාදයේ යෙදුණහොත් ඔවුන් තළා පෙළමින් ගෙන ගිය අත්තනෝමතික පාලනයට එරෙහි ව කැරලි ගැසීමට ඇති ප‍්‍රවණතාව නැති කිරීමට ය.
අද ඇමෙරිකාවේ වෙසෙන ඇමෙරිකානුවන් නැතහොත් නීග්‍රෝ ජාතිකයන් ඔවුන් ගේ ඇතැම් අය අසැබි ඉංග‍්‍රීසි යෙදුම්වල ද කෙළ පැමිණ ඇත. වරක් නිව්යෝක් නගරයේ බස් නැවතුම් පොළක දී මා වැරැදි බස් කවුන්ටරයක සිටීම නිසා නීග්‍රෝ මාර්ග පාලිකාවක ගෙන් මා කිසි දිනෙක නොඇසූ අසභ්‍ය ඉංග‍්‍රීසි වචන කීපයක් ඉගෙන ගත්තෙමි.
පුදුමය නම් අපේ කුණුසරුප මෙන් මේ කුණුසරුප ද ඉතා උත්තරීතර වචනයක් වන අම්මා යන නමට සම්බන්ධ වීම ය. මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ පෘතුගීසි හා ස්පාඤ්ඤ ආධිපත්‍යයෙන් පසු ඒ භාෂා ද්වයයන් ඒ රටවල ජාතික භාෂා බවට පත් විය.
එහෙත් ඔක්ලොහොමා ටෙක්සාස් හා මෙක්සිකෝවේ තව ම ස්වදේශීය භාෂා 40 ක් පමණ ශේෂ වී තිබේ ලු.
අන්තර් ජාතික භාෂා වශයෙන් පිම්බී ඇති භාෂා දැනට 83 ක් පමණ වන බවත් ලෝක ජනගහනයෙන් සියේට 80 ක් පමණ මේ භාෂා තේරුම් ගන්නා තත්ත්වයක සිටීමත් තවත් සොයා ගැනීමකි.
මෙයත් මේ භාෂාවල පරිහානියට අත වැනීමකි. වඳ වී යන සතුන්ට ද වැඩි වේගයකින් ලෝකයේ සුළු භාෂා වඳ වී යන බවට අනතුරු හැඟවීමකින් පර්යේෂක යුවළ තම වාර්තාව හමාර කරති.
මේ කරුණු අපේ ද ඇස් ඇරැවිය යුතු නොවන්නේ ද? අතුරුදන් වන්නේ කුමකට ද? විශේෂයෙන් ඉතා ප‍්‍රබල ලිඛිත හා කථන ඉතිහාසයක් ඇති අපේ භාෂාව අතුරුදන් වන්නේ කුමකට ද?
එහෙත් මෙවැනි ව්‍යසනයකට සම්මාදම් විය හැකි සාධක පිළිබඳ ව ඉතා අවධියෙන් අපේ බුද්ධිමතුන් සිටිය යුතු නොවන්නේ ද, එවැනි ව්‍යසනයකට දායක විය හැකි සාධක ගැන ඉතා විමසිලිමත් වෙමින් අවශ්‍ය පියවර ගැනීමට කාලය පැමිණ ඇත.
තවත් පුදුමයකි. සිංහල බස අතුරුදන් වීමට දායක වන්නේ සිංහල බසට වඩා ඉංග‍්‍රීසි වචන බොහෝ විට වැරැදි වචන කලවම් වූ බසක් කතා කරන ඇතැම් ජනමාධ්‍ය නිවේදකයන් හා ‘ටෙලිඩ‍්‍රාමා’ නළු නිළියන් පමණක් නො වේ. (’රයිට්’ යන වචනය එක්තරා වැඩසටහනක සිය දහස් වාරයක් පාවිච්චි වේ.
වචනය නම් රයිට් ය. නැතහොත් නිවැරැදි ය. එහෙත් ඉතා බාල ස්වරූපයක් උද්වහනය කරයි.) අපේ රටේ ප‍්‍රකට උගත්තු ද මේ ප‍්‍රවණතාවට දායක වෙති. කිසියම් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ගේ ඉංග‍්‍රීසියෙන් ලියැවුණු ග‍්‍රන්ථයක අන්තර්ගතය ඉතා නව්‍ය වූ නිසා සිංහල පාඨකයා ගේ ප‍්‍රයෝජනය හා රස උද්දීපනය පිණිස එය සිංහලට පරිවර්තනය කිරීමට මම ඔහුට යෝජනා කෙළෙමි. ඔහු ගේ පිළිතුර වූයේ මෙයයි.
“සිංහලෙන් ශාස්තී‍්‍රය පොත් පළ කිරීම වාණිජ වශයෙන් පාඩු යි, සිංහලෙන් පළවන ශාස්තී‍්‍රය පොත් දැන් කවුරුවත් කියවන්නේ නෑ. ඉංග‍්‍රීසියෙන් පළ වන එවන් පොත් පමණයි කියවන්නෙ. මේ නිසා සිංහල ශාස්තී‍්‍රය පොත් 500 කට වඩා නිකුත් කිරීමට කිසිම පොත් ප‍්‍රකාශකයෙක් භාර ගන්නේ නෑ.”
තව ද පොතක් පළ කරන්නේ හා ලියන්නේ වාණිජ ලාභ ප‍්‍රයෝජන පමණක් තකා ද? ඊට වඩා උදාර සාධකවලින් ලේඛකයා මෙහෙයවිය යුතු නොවන්නේ ද? ඇරත් යට කී තර්කයේ තවත් ආකූූල බවකි.
ඉංග‍්‍රීසියෙන් පිටවන ශාස්තී‍්‍රය පොත් තේරුම් ගැනීමට තරම් ඉංග‍්‍රීසි දැනුමක් ඇත්තේ අපේ ජනගහනයෙන් ඉතා අඩු ප‍්‍රතිශතයකට ය. මෙවැනි ආකල්පයකින් සිදු වන්නේ එවැන්නන් ගේ දැනුම තව තව පෝෂිත වන අතර සිංහල පාඨකයා තව තව අඳුරට තල්ලු වීම නොවන්නේ ද?
අතීතයට තල්ලු වීම කාටත් සිදු වේ. එහෙත් මෙපමණ ශාස්තී‍්‍රය ආලෝකය සතර අතින් ජ්වලිත වෙද්දි අඳුරට තල්ලු වන්නේ කුමකට ද?
එසේ ම යට කී උද්ධෘතයේ අදහස් අපේ බසට ද උලමා ගේ මූසල හැඬීමක් නො වන්නේ ද?
0 comments:
Post a Comment