මීට දශක හතරකට පෙර චිලී සෝස් බෝතලයක් යනු සුඛෝපභෝගි ද්‍රව්‍යයකි. පාන් රාත්තලේ ගෙඩියක් සත තිස්‌පහක් සහ රෝස් පාන් ගෙඩියක් සත පහක් පමණක් වූ එකල අද රුපියල් 3 ක් වූ ඉඳිආප්පයක් සත දෙකකි. මෙටි්‍රක් ක්‍රමය හඳුන්වා දුන් අලුතම වාගේ පැවැති යුගයක් වූ බැවින් සියලු කිරුම් මිණුම් යාර, අඩි, රාත්තල්, අවුන්ස, ගැලුම් බෝතල් යනාදී වශයෙනි.
මේ කියන කාලයේදී සෝයා සෝස් නැත. එම්. එස්. ජී. නමැති රස කාරකයද නැත. ක්‍ෂණික නූඩ්ල්ස් ද නැත. සෝයා තෙල් සහ පාම් තෙල් ද නැත. පොල් තෙලෙන් කරවල බැද, ගලේ ඇඹරූ මිරිස්‌වලින් සාදන ලද පොල් සම්බලයක් සහ කිරි හොද්දක් සමග තම්බපු හාලේ බතක් හෝ කැකුළු බතක් අනුභව කෙරුණු ඒ යුගය එකී ආහාර තරමටම රසවත් ය. ගුණවත්ය. පිරිසිදු ය.
ඉතා රසවත් කුණු කන්දල්...!
1977 ට පෙර කොළඹ පැවැති චීන හෝටල් ගණන 5 ඉක්‌ම වූයේ නැත. එසේම කොළඹින් පිට පළාත්වල චීන හෝටල් තිබුණේ ද නැත. තිබූ චීන හෝටල්වලද චිලීසෝස් සහ ටොමැටෝ සෝස් මිස වෙනත් දෙයක් පාවිච්චියට ගැනුණේ ද නැත. මේ වනවිට ජපන් ජාතිකයන් විසින් එම්. එස්. ජී. රසකාරකය සොයාගනු ලැබ අවසන් ය. සිංගප්පූරුව, චීනය, තායිලන්තය යන රටවල සෝයා සෝස් ප්‍රචලිතව අවසන් ය. 1975 දී පමණ ශ්‍රී ලාංකිකයෝ මුල්වරට මැද පෙරදිග සේවයට යති. එවිට පිට රට සල්ලි රට තුළට එන්නට පටන් ගනී. 1976 දී මෙරට ගෘහ සේවිකාවෝ මුල්වරට 'ඩුබායි' යති. 'ඩුබායි' යනු එකල සංකේත නාමයකි. ගැහැනුන් මැදපෙරදිග කොයි රටට ගියත් එකල හඳුන්වන ලද්දේ ඩුබායි යනුවෙනි. මේ ඔස්‌සේ හටගත් ආර්ථික ප්‍රබෝධයත් සමගම ශ්‍රී ලංකාව තුළ භාණ්‌ඩ පරිභෝජනය ඉහළ යන්නට පටන් ගනී. මිනිස්‌සු ඉතා 'පිරිසිදුවට' හොර බොරු කරන්නට පටන් ගනී.
1977 ට පෙර ශ්‍රී ලංකාවේ පැවැති සමගි පෙරමුණ ආණ්‌ඩු පාලන යුගයේදී පිටරටින් බඩු ගෙන්වීම තහනම් කළ බැවින් පාරිභෝගික භාණ්‌ඩ හිඟයක් හට ගනී. ඒ හිඟය පිරිමැසීමට ව්‍යාජ බඩු සාදන ලදී. පාන්පිටිවලට ඉතා තුනියට කුඩු කළ ගඩොල්ද, මිරිස් කුඩු ද මිශ්‍ර කර ව්‍යාජ මිරිස් කුඩු සාදන ලදී. උම්බලකඩවලට වියළි දර කැබැලි මිශ්‍ර කර විකුණන ලදී. අද ව්‍යාජ මිරිස් කුඩු සහ ව්‍යාජ කහ කුඩු සාදනු ලබන්නේ කල් ඉකුත් වූ වටානා පිටිවලට රෙදි ඩයි එකතු කිරීමෙනි. මෙහිදී පරණ වූ වටානා පිටි කෑමෙන් බඩ නරක් වෙයි. රෙදි ඩයි නිසා වකුගඩු නරක් වෙයි. මේ වර්ගයේ අලුත් කෑම බීම සාදන තිප්පොලක් කොම්පඤ්ඤවීදියේ තැනකින් සොයා ගැනීමට පාරිභෝගික අධිකාරියට හැකි විය. පාරිභෝගික අධිකාරිය පිහිටා තිබෙන්නේත් කොම්පඤ්ඤ වීදියේම නිසා මෙය වැඩි මනත් ගමන් වියදමක් නැතිව කරන ලද වැටලීමකි. මේ තිප්පොලට ගිය වැටලීම් කණ්‌ඩායම දුටු දෙය ඉතා විචිත්‍රය. ගම් වර්ගයක්, රෙදි ඩයි සහ තක්‌කාලි පේස්‌ට් ස්‌වල්පයක් සමග ලුණු, මිරිස්‌කුඩු සහ සිටි්‍රක් ඇසිඩ් කකාරවා ටොමැටෝ සෝස් සාදන සැටි ඔවුහු එහිදී දුටුවහ. මෙය රූපවාහිනියේද පෙන්වන ලදී. මේ කම්හලේ නිපදවන ආහාර අනුභව කළ අය ජීවතුන් අතර සිටිනවා නම් එය ප්‍රාතිහාර්යයකි. එබඳු අය වහා සොයාගෙන ඔවුන් වකුගඩු නැතිව ජීවත් වන්නේ කෙසේදැයි පරීක්‍ෂා කළ යුතුය.
ශ්‍රී ලංකාවේ ආහාර වැඩි හරියක විවිධ කුණු කන්දල් බහුලය. සමහර බත් පාර්සල් තුළ බ්ලේඩ් තිබෙන අතර සමහර මාළුපාන්වල වීදුරුකටු තිබේ. එහෙත් රටේ නීති පණ නැති නිසා වීදුරු කටු සහ බ්ලේඩ් නොව මාළුපාන් තුළ උණ්‌ඩ මූනිස්‌සම් තිබුණත් කවුරුවත් කාටවත් බය නැත. වටානා කුඩු සහ රෙදි ඩයිවලින් මිරිස් කුඩු හදන එකා උසාවි දැමූ විට ඇප ලබා වහා ගෙදර ඒමේ හැකියාව නොඅඩුව තිබේ. රට, සාධාරණත්වය බලා යන ගමන එතැනින් අවසන්ය.
0 comments:
Post a Comment