මෙය විහිළුකාරයන් බහුල සමාජයකි. හැමතැනකම හැම ක්‍ෂේත්‍රයකම වැඩි වශයෙන් සිටින්නේ විහිළුකාරයන්ය. නමුත් හාස්‌යෝත්පාදක ශිල්පීන්ගේ අඩුවක් තිබේ. මන්ද එය ලෙහෙසි පහසු වැඩක් නොවන නිසාය. සැබවින්ම හාස්‍ය යනු පුදුමාකාර දෙයකි. මන්ද ඇතැම්විට එය ජීවිතයේ අපට නොපෙනෙන යථාර්ථයන් ඇඟට පතට නොදැනී කියාදෙන බැවිනි. එහිදී අප සිනාසී තිබෙන්නේ අපටම බව වැටහෙන්නේ ඇතැම්විට ගෙදර ගියාටත් පසුවය. හාස්‍යයේ ස්‌වභාවය එයයි.
මෙවර මෝස්‌තරයේ මාතෘකාව වන්නේ හාස්‍යයයි. මෙරට හාස්‌යෝත්පාදක කලාවේ ස්‌වර්ණමය යුගයක් නියෝජනය කළ බර්ටි ගුණතිලකයන් නොමැතිව එය කතා කළ නොහැකිය. ජීවන ගමනේ අසූ නම වැනි විය පසු කරමින් සිටිනා ගුණතිලකයන් අද ගතින් දුබලව සිටියත්,
ඔහුගේ හාස්‍ය තවමත් තරුණය. එහි වර්තමානය ගැනත් මෝස්‌තරය ගැනත් කතා කිරීමට එක්‌වුයේ ටෙනිසන් කුරේ නම් අපූර්ව රංගන ශිල්පියාය. යුග දෙකක ඔවුන්ගේ මෝස්‌තරය කෙසේ වීදැයි අප ඔවුන්ගෙන් විමසා බලමු..
අසූනම වැනිවිය පසු කරමින් සිටින බර්ටි ගුණතිලක මහතා මේ දිනවල වයෝවෘද්ධ වීම නිසාම හට ගන්නා වූ මඳ අසනීප තත්ත්වයක පසුවන නිසාත් කොළඹින් දුර බැහැර ප්‍රදේශයක සිටින නිසාත් එතුමාව මෙම සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීමට අප දැරූ සියලු උත්සාහයන් අසාර්ථක විය. නමුත් මීට ඉහතදී අප පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙක් හා බර්ටි ගුණතිලකයන්ගේ මිතුරකු ද වූ හෙන්රි ප්‍රියශාන්ත විසින් බර්ටි ගුණතිලක පිළිබඳව 'දිවයින' ට සපයා තිබූ ලිපියක් 'මෝස්‌තරය' ට ඉතා හොඳින් ගැලපෙන බැවින් කිසිදු සංස්‌කරණයකින් තොරව මෙසේ පළ කරන බව සලකන්න.
බර්ටි ගුණතිලකට අසනීපයි. දැන් වයස අවුරුදු අසූ නමයයි. දැන් ඉන්නෙ ගොඩකවෙල ප්‍රදේශයේ. පසුතැවිලි නොවී අද අදම ඔහු ගැන මොනවා හරි ලියන්න. ඔහුගේ සමකාලීන මිතුරකු වූ රංජිත් කරුණාරත්න මහතා මට එලෙසින් දන්වන ලදී.
මගේ මතකයට එක්‌වරම ආවේ "ඌ මට ගැහැව්වා. මට ඌ ගැහැව්වා" ඔහු රඟ පෑ විනෝදසමය විකට වැඩසටහනය. එදා අපි එය අසා පෙරළි පෙරළි සිනාසුණෙමු.
අන් අය හිනැස්‌සූ රසවතකු වූ බර්ටි ගුණතිලක මගේ හිතෛෂිවන්තයෙකි. ඔහු කොළඹ සිටියදී නිතර නිතර හමුවුණත් වසර අටකින් පමණ ඔහු දකින්නට නොලැබුණි. හේතුව ඔහු ඈතට ඈතට යැමය.
ඔහු ගැන ලිපියක් ලිවීම අත්‍යවශ්‍යම දෙයකි. මිතුරකුගේ මාර්ගයෙන් බර්ටිගේ නිවසට පණිවිඩය දුනිමි.
දිනක් රාත්‍රියක මට දුරකථන ඇමතුමක් ලැබුණි. "මම බර්ටි ගුණතිලක. දැන් කන ඇහෙනව අඩුයි. ඇස් පේන්නෙත් නැහැ. නිතර නිතර ලෙඩින්. ඒත් එදත් අදත් පත්තරයට මං ආදරෙයි. අපි කතා කරමු.
ඔහුගේ ධෛර්යවන්තකම ගැන පුදුම සිතේ.
ඌ මට ගැහැව්වා. මට ඌ ගැහැව්වා. සිද්ධිය සිහිපත් කරමින් අපි සාකච්ඡාව ආරම්භ කළෙමු. එදා අපි විකට වැඩසටහනක් ඉදිරිපත් කරලා එනකොට අඟුලාන කිරිබත්ගොඩ බසයෙදී ගණන්කාරයෝ දෙන්නෙක් බස් එකේ සිටගෙන සිටිමින් පෙර දිනක සිදු වූ ගෝරියක් ගැන සිදු වූ කතාවකදී එක් තැනැත්තෙක් කියූ කතාවකි එය. ඒ කියන්නේ මිනිහාට ගහන්න ලැබිලා නැහැ. ගුටිකාලා විතරයි. ඊළඟ සතියේ විකට වැඩසටහනකට මම, ඇනස්‌ලි, සැමුවෙල් එම සිද්ධිය රඟපෑවා.
ගුවන් විදුලියේ එච්. ඩී. විඡේදාස මහතා ආරම්භ කරන ලද විහිළු තහළු වැඩසටහනේ තුන් කට්‌ටුව ලෙසින් බර්ටි, ඇනස්‌ලි ඩයස්, සැමුවෙල් රොඩ්රිගු විකට වැඩසටහනක් ඉදිරිපත් කළේය. එය අතිශයින්ම ජනප්‍රියත්වයට පත්විය. තුන්කට්‌ටුව විහිළුකරුවන්ගෙන් සැමුවෙල් රොඩ්රිගු හා ඇනස්‌ලි ඩයස් ජීවතුන් අතර නැත. 89 හැවිරිදි වියේ පසුවන පැරැණිම විකට ශිල්පියා බර්ටි ගුණතිලකය.
බර්ටි ගුණතිලක නම් වූ මෙම රංගන ශිල්පියා උපන්නේ නුවරය. නුවර සංඝරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබේ. පසුව කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ උප ගුරුවරයකු වශයෙන් සේවය කළේය. ඉන් තෘප්තියට පත් නොවූ ඔහු සිංහල බෞද්ධයා පත්තරයේ සෝදුපත් කියවන්නකු ලෙස කාලයක් කටයුතු කර තිබේ. 1953 ජනතා පුවත්පත ආරම්භ වූ කාලයේ බෙදාහැරීම් අංශයේ සේවය කර තිබේ.
එච්. ඩී. විජයදාස මහතා විසින් 1954 වර්ෂයේ ගුවන් විදුලියේ මුලින්ම ආරම්භ කරන ලද විහිළු තහළු වැඩසටහනට ඔහු මුලින්ම දායක විය. තනියම නොවේ. ඇනස්‌ලි, සැමුවෙල් සමගින් පසු කලෙක වරින්වර ගැමුණු විඡේසූරිය, ජෝශප් සෙනෙවිරත්න, ඇල්ප්‍රඩ් පෙරේරා කලාකරුවන් ද එකතු වී ඇත. පසු කලෙක මර්සි එදිරිසිංහ ද එකතු වූවාය.
1983 රූපවාහිනී සේවය ආරම්භ වීමත් සමඟ එහි ආරම්භක විකට නළුවන් වශයෙන් විකට වැඩසටහන් ඉදිරිපත් කර ඇත්තේ මේ තුන්කට්‌ටුවය. එහි ආරම්භක වැඩසටහන 'නන්දන වින්දන' ය.
1960 සිට 1990 දශකය දක්‌වා බර්ටි ගුණතිලක, ඇනස්‌ලි ඩයස්, සැමුවෙල් රොඩ්රිගූ සහ මර්සි එදිරිසිංහ කලා ශිල්පීන්ට මෙරට ගුවන් විදුලිය, රූපවාහිනි හා චිත්‍රපට ක්‍ෂේත්‍රවල විශාල ප්‍රසිද්ධියක් ලැබිණි.
මෙයින් බර්ටි ගුණතිලක සතුව තිබූ අපූර්ව රංගන කෞශල්‍යය තුළින් මෙරට වේදිකාව දෙවනත් කිරීමට ගුවන් විදුලිය රසවත් කිරීමට, රූපවාහිනිය වර්ණවත් කිරීමට හැකි විය.
වරෙක ඔහු කොට කලිසමක් හැඳ සූප්පුවක් කටේ රුවාගෙන වතුර බෝතලයක්, පැන්සලක්, පොතක් රැගෙන පාසල් ශිෂ්‍යයකු ලෙස රඟපායි. ඒ දැකීමෙන් රසිකයෝ අමන්දානන්දයට පත්වූහ.
මොවුන්ගේ විකට වැඩසටහන්වලදී බර්ටි ගුණතිලක කෙදිනකවත් අන් අය හිනැස්‌සවීම උදෙසා දෙපිට කැපෙන දෙබස් හෝ අසභ්‍ය වචන පාවිච්චි කළේ නැත. කෙනෙකුව අපහාසයට උපහාසයට ලක් කිරීමේ අරමුණින් විහිළු ඉදිරිපත් කළේ නැත. සමාජයට ආදර්ශවත් පණිවිඩ ඉදිරිපත් කළ බර්ටි ගුණතිලක නිතර පැවසුවේ "විහිළුවක් නිර්මාණය වෙන්නේ අපි ජීවත්වන එදිනෙදා ජීවිතයේ පරිසරය තුළින්මය" යනුවෙනි.
1951 වර්ෂයේ ලංකාවේ කැමරාගත කරන ලද බණ්‌ඩා නගරයට පැමිණීම චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි බර්ටි සිකුරුලියා, ජීවන ගංගා, සමාජ සතුරෝ, චූඩා මාණික්‍යය. සමුගනිමි සැමියනි, ශීත සමීරේ ඇතුළු චිත්‍රපට හැටක පමණ රඟපා ඇත.
බර්ටි ගුණතිලක ගුවන් විදුලියට එක් වූ අවධියේ විකට රංගන වැඩසටහනක් වෙනුවෙන් මසල වඩේ එකයි ප්ලේන්ටියයි ලැබුණු බවත්, පසුව ඊට දශකයට පසුව 1950 වර්ෂයේදී
විඡේදාස මහතා එක් වැඩසටහනක් වෙනුවෙන් රු. 5 ක් ගෙවූ අතර, පසුව කාලයක් ගත වෙද්දී වැඩසටහනක් වෙනුවෙන් රුපියල් දහය, විස්‌ස. පනහ, සියය. දෙසීය, පන්සීය සහ දාහක් වශයෙන් වැඩිවුණා යෑයි ද පසුව අප ගැන සොයා බලන්නවත් කෙනෙක් නොසිටියේ යෑයි මගේ පැනයකට පිළිතුරු වශයෙන් පැවසීය.
ඉතාමත් අසීරුවෙන් මා හා දුරකථන සංවාදයේ යෙදුණ බර්ටි ගුණතිලක මේ ටික නම් ලියන්න ඕනෑ යෑයි කීවේය. "අපි එදා කළ විකට වැඩසටහන් අසන්නන්ට තවමත් මතකයි. අපේ නිර්මාණ තුළ රසික රසිකාවියන්ට නැවත නැවතත් මතක් කරමින් සිනාවීමට යමක් තිබුණා. අද තියෙන්නේ වැඩසටහන අහලා එවේලේම කිති කවාගෙන සිනාසෙන්නයි. උපහාසයෙන් හාස්‍ය රසය අත්විඳීම ජනතාවට අහිමි වෙලා. පඳුරක් ගානේ විකට නළුවන් ඉන්නවා. සූරයන් තෝරන්න තරග පැවැත්වුණත් රසිකයන්ට අවශ්‍ය දේ දීමේ ශක්‌තියක් තිබෙන අය නැහැ. පණුවෙක් වගේ දඟලලා කෑ ගහලා දෙබස් කීම විකට චරිත නිරූපණයක් නොවෙයි. නිර්මාණ ශක්‌තියක් තමන් තුළ තිබෙන්නට ඕනෑ.
ඇතැම් දිනවල කලින් සූදානමක් නැතිව පිටපතක් ද නැතිව 'විහිළු තහළු' විනෝද සමය ඉදිරිපත් කළ අවස්‌ථා තිබූ බවත්, ඒක මගේ, ඇනස්‌ලිගේ, සැමුවෙල්ගේ සහ මර්සි එදිරිසිංහගේ දක්‍ෂතා මත මැවුණ නිර්මාණ යෑයි ද බර්ටි ගුණතිලක පැවැසීය.
89 වැනි වියේ පසුවන දැනට ජීවතුන් අතර සිටින විකට චරිත මැවූ එකම ශිල්පියා වෙනුවෙන් රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාව, සංස්‌කෘතික අමාත්‍යාංශය, ගුවන් විදුලිය, රජය ඔහුට නිසි ඇගයුමක් කළ යුතුව ඇත.
0 comments:
Post a Comment